Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රිවර්ස් ස්වීප් පහර උපාය වෙයි

රිවර්ස් ස්වීප් පහර උපාය වෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේ පිල හමුවේ පීඩනයට නතුවී සිටියද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගය ජයගැනීමේ විශ්වාසයෙන් ශ්‍රී ලංකා පිල පසුවෙයි. ඒ සඳහා තරගයේ අවසන් දිනය වන හෙට (18 වැනිදා) යැවිය යුතු ඕවර 90 දී තවත් ලකූණු 218 ක් ලබාගැනීමට කඩුලු 7 ක් ශ්‍රී ලංකා පිල සතුව තිබේ.  

අත ඇති කඩුලු සංඛ්‍යාව කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිතිකරුවන් විශ්වාසය රඳවා ඇත්තේ තණතීරුවේ ස්වභාවය කෙරෙහිය. තරගයේ පළමු දින හතරේදී වාර්තා වූ සම්පූර්ණ ලකුණු සංඛ්‍යාව 1249 කි. දිනයකදි ගලා ආ සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව 312 කි. තණතීරුවේ විශාල වෙනසක් දකින්නට නැති හෙයින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයෙන් පසුවෙයි.

“පන්දුව හුඟක් දඟකැවෙන්නේ පන්දුවේ තද ගතිය තිබුණාමයි. ඒත් පන්දුවේ තද ස්වභාවය අඩු වුණාම ඒ තරම් දඟ කැවීමක් අපි දැක්කේ නෑ” යයි තරගයෙන් අනතුරුව මාධ්‍ය නියෝජිතයන් හමුවේ කරුණාරත්න පැවසීය.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පන්දුව මේ වන විට පන්දුව ඕවර 48 ක් භාවිතා කර ඇති හෙයින් එහි දැඩි බව ළිහිල් වී තිබේ. මේ වන විට සිම්බාබ්වේ පන්දු යවන්නන්ට ඇති එකම වාසිය වන්නේ තණතීරුවේ ඇති කඩතොලු ස්වභාය පමණි.

“ඇන්ජලෝ සහ කුසල් මෙන්ඩිස් දෙන්නාම මේ වෙනකොට හොඳින් ලකුණු අතරට පැමිණ සිටිනවා. මේ දෙන්නට තවත් පැයක් හමාරක් හෙට උදේ කඩුල්ලේ රැඳී ඉන්න පුළුවන් වුණොත් තවත් හොඳින් හැඩගැහෙන්න පුළුවන්...ඒ වගේ තත්ත්වයකදි, මොකක් හරි අනුවණ දෙයක් කළොත් මිස, ඔවුන් දෙන්නාව දවාගන්න පහසු වෙන එකක් නෑ” යයිද කරුණාරත්න පැවසීය.

තත්ත්වය එසේ වුවත් ක්‍රීමර් පා දඟ පන්දු යවන්නෙකි. අතේ මැණික් කටුව කරකවා පන්දු යවන හෙයින් ඕනෑම තණතීරුවක පන්දුව දඟ කැවීමේ හැකියාව ක්‍රීමර්ට තිබේ. අනෙක් අතට සිම්බාබ්වේ පන්දු යැවීම ශ්‍රී ලංකාවට වඩා වෙනස් ස්වභාවයක් ගනී.

“ඔවුන් පන්දු යවන්නේ වෙනත් එල්ලයකයි. අපි පන්දු යැව්වේ කඩුල්ල එල්ලයේ...කඩුල්ල දවාගන්නා අදහසින්. ඒත් ඔවුන් පන්දු යවන්නේ තණතීරුවේ කඩතොලු වෙලා තියෙන තැන්වලට. ඒ වගේම ක්‍රීඩකයන් පිටිය පුරාම විසුරුවා දමලා. ඒ නිසා අපි වැරෙන් පහරක් ගැහැව්වත් පන්දුව හතරේ සීමාවට යන්න තියෙන අවස්ථාව අඩුයි” යයිද කරුණාරත්න කියයි.

“තණතීරුව කඩතොලු වෙලා තියෙන තැන්වලින් ඔවුන්ට විශාල සහයෝගයක් ලැබෙනවා. ක්‍රීමර් පන්දු යවන්නේම ඒ තැන්වලට. ඒත් එයා හැරෙන්න අනෙක් පන්දු යවන්නන්ගෙන් අපට ඒ තරම් තර්ජනයක් එල්ල වේවි කියලා මා හිතන්නේ නෑ... ෂෝන් විලියම්ස්ගෙන් වුණත් ඒ තරම් තර්ජනයක් නෑ. මොකද මා දැවී ගිය පන්දුව හැරෙන්නට අනෙක් සෑම වෙලාවකම මට අවශ්‍ය තනි ලකුණ නිතරම තිබුණා”

“ඉඳහිට පන්දුවක් තියුණු  ලෙස දඟ කැවේවි. ඒත් ක්‍රීමර් නම් භයානකයි. එයා හොඳින් පන්දු යවනවා” යයි  කරුණාරත්න කීවද ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයගත හැකි යයි විශ්වාසයක් ආරම්භක පිතිකරුවාට තිබේ. මේ වන විටත් කඩුලු 3 කට ලකුණු 170 ක් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ලකුණු 170 ලබාගෙන ඇත්තේ පන්දුවේ දැඩි බව රැඳී තිබියදීය.

සිම්බාබ්වේ පන්දු යවන්නෝ පන්දුව වැඩි වැඩියෙන් පා ඉන්න එල්ලයේ අතහරිති. එහි අරමුණ පා ඉන්න පැත්තේ රඳවා සිටින පන්දු රකින්නන් වෙත උඩපන්දුවක් ලබාගැනීමයි. එහෙත් සිම්බාබ්වේ ක්‍රීඩකයන් රඳවා තිබෙන ආකාරය වෙනස් කිරීමට සැලසුමක් තිබිය යුතු බවද දිමුත් කියයි. ඒ සඳහා ඔහුගේ එක් යෝජනාවක් වන්නේ ‘රිවර්ස් ස්වීප්’ පහර යොදා ගැනීමයි.

පා ඉන්න පැත්තෙන් ක්‍රීඩකයන් වැඩි දෙනෙක් රඳවා ‘ස්වීපර් කවර්ස්’ සිට ‘ලෝන්ග් ඕෆ්’ දක්වා කලාපය විවෘත කර පන්දු යවන්නට වන් කල්හි පිතිකරුවා රිවර්ස් ස්වීප් පහර ගැසීම අරුමයක් නොවේ. එහෙත් එහි ඇති අවදානම නම් පිත්තේ දාරයේ වැදී පන්දුව එකතැන ඉහළ නැගීමට ඇති අවස්ථාවයි.

“කොහොම වුණත් අපට පරාජයෙන් ගැලවෙන්න හිතාගෙන පන්දුවට පහර දෙන්න බෑ. එහෙම කළොත් මේ තරගය ජයගන්න තියෙන අවස්ථාව නැතිවෙනවා”

“අපි යන්න  ඕනේ ලකුණු 218 ලබාගෙන තරගය ජයගන්නවා කියන මානසිකත්වයෙන්. ලකුණු පුවරුවට තවත් 60 ක් 70 ක් එකතු වුණාම ඔවුන් පන්දු රකින්නන් පිටිය පුරා විසුරුවා දමාවි. එතකොට අපට අවශ්‍ය තනි ලකුණ තියෙනවා. අපේ අවස්ථාව ලැබෙනවා”

“ඉලක්කයට කිට්ටු වුණාම එතැන ඉඳලා බලන්න පුළුවන් අපි ඉලක්කය කරා යනවාද නැතිනම් තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගන්න යනවාද කියලා. කොහොම වුණත් කඩුලු අතේ තියාගන්න වෙනවා. ඒ නිසා හෙට දිවා ආහාරයට පෙර තරගය අපට ඉතාමත් තීරණාත්මකයි” යයිද දිමුත් කියයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳම ප්‍රයෝජන ලබාගත හැක්කේ හෙට දිවා ආහාරයට පෙර යැවිය යුතු ඕවර 30 නි. මේ වන විට පන්දුවේ දැඩි බව ගිලිහී ඇති හෙයින් එය පිතිකරුවාට තරමක වාසියක් වී තිබේ.

දිමුත් කරුණාරත්න පවසන පරිදි සිම්බාබ්වේ නායක ග්‍රේම් ක්‍රීමර්ට පහර දීමට කිසිවකු ඉදිරිපත් වේ නම් එමගින් ලකුණු ගලාඒම වැඩිවනු ඇත. එවිට පීඩනයට පත්වන සිම්බාබ්වේ නායකයාට සිය පන්දු රකින්නන් පිටිය පුරා විසුරුවා දැමීමට සිදුවේ.

“ෂෝන් විලියම්ස් වුණත් ලොකු දෙයක් කරන කෙනෙක් නෙමේ. එයා කරන්නේ එක පැත්තකට වෙලා පිතිකරුවන් හිර කරගෙන ක්‍රීමර් හමුවේ මොකක් හරි වැරැද්දක් කරන්න පිතිකරුවන් පොළඹවන එකයි....ඒත් මේ දෙන්නටම දවසම පන්දු යවන්න බෑනේ...ඒ නිසා අපි ටිකක් බුද්ධිමත්ව හිතලා ලකුණු රැස්කරගන්න උපායක් හදාගන්න ඕනේ” යයි කී දිමුත් මාධ්‍ය කුටියෙන් පිටව ගියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ඇතිකරමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් තරගයක සිවුවැනි ඉනිමේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව 410 ක් (ඕස්ටේ්‍රලියාවට එරෙහිව හොබාර්ට්හිදී) ලෙසින් සටහන් වුවද තරගයක් ජයගැනීම සඳහා සිව්වැනි ඉනිමේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ කඩුලු 9 කට ලකුණු 352 ක් ලබාගැනීමයි. වසර 2006 කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව සිවුවැනි ඉනිමේදී කඩුලු 9 කට ලකුණු 352 ක් ලබාගනිමින් ශ්‍රී ලංකාව එම තරගය ජයගත්තේය.

 


අදහස් (0)

රිවර්ස් ස්වීප් පහර උපාය වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.