Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රණතුංග - සුමතිපාල දෙපාර්ශ්වය එකඟතාවක

රණතුංග - සුමතිපාල දෙපාර්ශ්වය එකඟතාවක

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2019 සිට 2021 දක්වා වන වසර දෙකක කාලපරිච්ජේදය සඳහා විධායක කමිටුව පත්කරගැනීමේ නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශයේ ‘ඩන්කන් වයිට්’ ශ්‍රවණාගාරයේදී අද (21) පෙරවරු 10.00 සිට පැවැත්වේ.  මෙම නිලවරණයේදී සභාපති, උප සභාපතිවරුන් දෙදෙනකු, ලේකම්, උප ලේකම්, භාණ්ඩාගාරික සහ උප භාණ්ඩාගාරික යන ප්‍රධාන තුනතුරු හත සඳහා නිලධාරීන් පත්කරගැනීමට නියමිතය.

මෙවර නිලවරණයේදී සභාපති ධූරයට ‘සුමතිපාල’ පාර්ශවයෙන් ශම්මි සිල්වා මහතා ද, ‘රණතුංග’ පාර්ශවයෙන් ජයන්ත ධර්මදාස සහ කේ. මතිවානන් යන මහත්වරුද තරග කරති.  

ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීම මත, මෙවර නිලවරණයේදී මොහාන් ද සිල්වා මහතා ලේකම් ධූරයට ද, රවීන් වික්‍රමරත්න මහතා උප සභාපති ධුරයට ද, තරග කිරීමට අභියාචනාධිකරණයේදී ඊයේ (20) එකඟතාව පළකළහ.

මොහාන් ද සිල්වා මහතා සභාපති ධූරයට ද, රවීන් වික්‍රමරත්න මහතා උප ලේකම් ධූරයට ද, ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොණුකර තිබූ නඩු අභියාචනා අධිකරණයේදී ඊයේ (20) කැඳවූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු මොහාන් ද සිල්වා මහතාට ලේකම් ධූරයට ද, රවීන් මහතාට උප සභාපති ධූරයට ද, තරග කිරීමට අවස්ථාව ලබාදීමට යෝජනා කළහ. එම යෝජනාවට මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරු එකඟතාව පළකළහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් වන පළාත්, දිස්ත්‍රික්, පරිපාලිත සහ අනුබද්ධ යන සංගම් සහ ක්‍රීඩා සමාජවල ඡන්ද 147 ක් ඇති අතර ඉන් ඡන්ද 142 ක් මෙවර නිලවරණයේදී ප්‍රකාශ කිරීමට නියමිතය. දකුණු පළාත් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ කළුතර කායවර්ධන කවයට (කළුතර පී.සී.සී.) මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවී තිබේ.

විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරුවන් වන චන්ද්‍රා ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් නිලවරණ කමිටුව මෙම නිලවරණය මෙහෙයවයි. නිලවරණය නිරීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික මැතිවරණ කොමිසමේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 10 කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය.

නිලවරණයේ ආරක්‍ෂාව පිළිබඳ කටයුතු කුරුඳුවත්ත පොලිසියේ පූර්ණ අධීක්‍ෂණයෙන් ක්‍රියාත්මක වේ. ඒ සඳහා 100 කට අධික පොලිස් කණ්ඩායමක් සූදානම් කර ඇති බවත් හදිසි අවශ්‍යතාවක් වුවහොත් පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් ද සූදානම්ව සිටින බව ද වැඩි දුරටත් වාර්තා වේ.

1996 දී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකයා වූ, වර්තමානයේ ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමත්‍ය අර්ජුණ රණතුංග මහතා ‘රණතුංග’ පාර්ශවයෙන් උප සභාපති ධූරයට තරග කරයි. අර්ජුන රණතුංග මහතා මීගමුව ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයෙන් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජියමුණි ද සොයිසා මහතා මොණරාගල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් ද ඡන්ද ප්‍රකාශ කිරීමට නියමිතය.  

මෙම නිලවරණය මේ මස 7 වැනිදා පැවැත්වීමට දින යොදාගෙන තිබුණ ද ක්‍රීඩා පනතේ පැවැති ව්‍යාකූල තත්ත්වයක් හේතුවෙන් සති දෙකකින් කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යවරයා පියවර ගත්තේය.


ක්‍රිකට් නිලවරණය (2018) නාමයෝජනා (එකඟතාවයෙන් පසු)

සභාපති (01) - ජයන්ත ධර්මදාස, කේ. මතිවානන් සහ ශම්මි සිල්වා
උප සභාපති (02) - ශම්මි සිල්වා, රවීන් වික්‍රමරත්න, කේ. මතිවානන්, අර්ජුන රණතුංග සහ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ
ලේකම් (01) - බන්දුල දිසානායක, නිශාන්ත රණතුංග, ශම්මි සිල්වා සහ මොහාන් ද සිල්වා
භාණ්ඩාගාරික (01) - ලසන්ත වික්‍රමසිංහ, ඊස්ට්මන් නාරංගොඩ, නලීන් වික්‍රමසිංහ සහ ශම්මි සිල්වා
උප ලේකම් (01) - ක්‍රිෂාන්ත කපුවත්ත, බන්දුල දිසානායක සහ හිරන්ත පෙරේරා
උප භාණ්ඩාගාරික (01) - ලලිත් රඹුක්වැල්ල, නලීන් වික්‍රමසිංහ සහ සංජය සේදර සෙනරත්

   

 


අදහස් (0)

රණතුංග - සුමතිපාල දෙපාර්ශ්වය එකඟතාවක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.