Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner රොෂේන් - දසුන් ගාල්ල ඉනිම ගොඩනගති

රොෂේන් - දසුන් ගාල්ල ඉනිම ගොඩනගති

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් සිවුදින ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමු දිනය වූ අද (30 වැනිදා) තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ගාල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 321 ක් ලබා සිටියේය.

දිනය නිමාවන තෙක්ම එක් අන්තයක් රැකගනිමින් ඉතා ඉවසිවන්ත පිතිහරඹය නිතර වූ රොෂේන් සිල්වා හතරේ පහර 10 ක් සමග ලකුණු 146 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. තරගය නතර විට අනෙක් අන්තයේ රැදී සිටි නිසල තාරක දිනය නිමාවන තෙක්ම ලකුණු ලබාගැනීම අරඹා තිබුණේ නැත.

දිල්රුවන් පෙරේරා විසින් අද දිනයේ යවන ලද අවසන් ඕවරයේ පස්වැනි පන්දුවේදී විෂ්ව ප්‍රනාන්දු අතට උඩ පන්දුවක් දෙමින් චතුරංග ද සිල්වා දැවීයෑම නිසා නිසල තාරකට එක් පන්දුවකට පමණක් මුහුණදීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණීමට සිදුවිය. අර්ධ ශතකයට ලකුණු 3 ක් පමණක් පසුපසින් සිටියදී දැවීගිය චතුරංගගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 2 කින් සමන්විත විය.

මුළු ලකුණු සංඛ්‍යාව 22 ක් වන විට ගාල්ල කණ්ඩායමේ මුල් පිතිකරුවන් සිවුදෙනාම ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට කොළඹ කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත් වූහ. ගාල්ල කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ළහිරු මිලන්ත දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට කෞෂාල් සිල්වා සමත් වෙද්දී ඔහු එක් පන්දුවකට හෝ මුහුණදී නොසිටියේය.

පන්දු 7 කට මුහුණදී සිටි ඕෂද ප්‍රනාන්දු ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙර පිටියෙන් ඉවත් කළ කවිෂ්ක අංජුල, ඉන් නොනැවතී සදීර සමරවික්‍රමද එක් ලකුණකට ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවූයේ ගාල්ල කණ්ඩායමට ලකුණු 10 දී තෙවැනි කඩුල්ලද අහිමි කරමිනි. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 18 ක් ලබා සිටි මාධව වර්ණපුරගේ කඩුල්ල බිඳ දමමින් ගාල්ල කණ්ඩායම ඉතා අසීරු අඩියකට ඇද දැමුවේය.
 
කෙසේ වුවත් ගාල්ල කණ්ඩායම එම අසීරු තත්ත්වයෙන් මුදවාගත් රොෂේන් සිල්වා, නායක දසුන් ශානක (95) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 202 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැගුවේය. හතරේ පහර 8 ක් සමගින් තරමක් වේගයෙන් ලකුණු රැස්කළ දසුන්ට, දිල්රුවන් පෙරේරාගේ පන්දුවක් කඩුල්ලේ වැදීම නිසා ශතකය පෙනි පෙනී තිබියදී ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

දසුන් සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව නිමාවට පත්වුවද එතැනින් නොනැවතුන රොෂේන්, හයවැනි කඩුල්ල වෙනුවෙන් චතුරංග ද සිල්වා (47) සමග එක්ව ලකුණු 97 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.

 

ගාල්ල පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 321

(මාධව වර්ණපුර 18, රොෂේන් සිල්වා නොදැවී 146, දසුන් ශානක 95, චතුරංග ද සිල්වා 47, කවිෂ්ක අංජුල 45/2, දිල්රුවන් පෙරේරා 75/2)

 


අදහස් (0)

රොෂේන් - දසුන් ගාල්ල ඉනිම ගොඩනගති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.