එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රොහාන් සංජය ලකුණු 17 කට කඩුලු 5 ක්ද, පිට දඟ පන්දු යවන ක්‍රීඩක අෂේන් ඩැනියෙල් ලකුණු 37 කට කඩුලු 5 ක්ද දවාගනිමින් බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කර දැමූහ.
දෙවැනි දිනය (24 වැනිදා) සඳහා තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 102 ක් ලබා බංග්ලාදේශයට වඩා ලකුණු 219 ඉදිරියෙන් සිටියේය. දිනය නිමාවන විට මොහොමඞ් ශමාස් හතරේ පහරක් සමග ලකුණු 12 ක්ද, සොනාල් දිනූෂ හතරේ පහර 2 ක් සමග ලකුණු 16 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු පන්දු 72 කදී ලකුණු 47 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නවෝද් පරණවිතාන (36) සහ නායක නිපුන් ධනංජය (23) සමත් වූහ. රකිබුල් හසන්ගේ පන්දුවක් හමුවේ ටැන්සිඞ් හසන් ටමීම් අතට උඩ පන්දුවක් දෙමින් ධනංජය දැවී යෑමත් සමග එම සමබන්ධතාව නිමාවට පත් විය. පරණවිතාන දැවී ගියේ තව්හිද් රිඩෝයිගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක අක්බර් අලීගේ දක්ෂ ස්ටම්ප් කිරීමකට හසුවෙමිනි. පරණවිතාන හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින්ද, ධනංජය හතරේ පහර 4 ක් සමගින්ද ලකුණු රැස්කළහ.
පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගත් කමිල් මිෂාරට පැයකට වැඩි කාලයක් කඩුල්ලේ රැදී සිටියද දෙවැනි ඉනිමේදී වැඩි යමක් කිරීමට අවස්ථාවක් නොලැබිණ. රකිබුල් හසන්ගේ පන්දුවක් හමුවේ ටැන්සිඞ් හසන් ටමීම් අතට උඩ පන්දුවක් දෙමින් පිටියෙන් ඉවත්ව යන විට පන්දු 70 කට මුහුණදී සිටි ඔහු ලබා සිටියේ ලකුණු 13 ක් පමණි.
මුල් ඕවර 11 තුළ කිසිවකු නොදැවී ලකුණු 70 ක් ලබා ප්‍රබල තත්වයක පසුවූ බංග්ලාදේශ කණ්ඩායමට දිවා ආහරය නිමාවී විනාඩි 40 කට පමණ පසුව සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ තවත් ලකුණු 39 ක් පමණි.
පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 77 ක තරමක වේගවත් සම්න්ධතාවක් ගොඩනැගීමට බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ටැන්සින් හසන් ටමීම් (50) සහ සජීඞ් හසන් (22) සමත් වුවද, රොහාන් සංජයගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක කමිල් මිෂාර අතට උඩ පන්දුවක් දෙමින් සජීඞ් හසන් දැවීයෑමත් සමග බංග්ලාදේශ ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.
එම කඩුල්ලත් සමගින් ලකුණු 32 ක් ඇතුළත බංග්ලාදේශ ඉනිමේ කඩුලු 10 ම බිඳ හෙළීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ටැන්සින් හසන් ටමීම් පන්දු 55 කදී හතරේ පහර 5 ක් සමග සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය. එහෙත් සංජයගේම පන්දුවක් හමුවේ නවීන් ප්‍රනාන්දු අතට උඩ පන්දුවක් දෙමින් ඔහුද පිටියෙන් ඉවත්ව ගියේ බංග්ලාදේශ කණ්ඩායම අසීරු තත්වයකට ඇද දමමිනි.
ඉන් අනතුරුව බංග්ලාදේශ පිතිකරුවන් එකා පිට එකා දැවීගිය නමුත් පන්දු 46 කදී ලකුණු 15 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රකිබුල් හසන් (නොදැවී 15) සහ ශහීන් අලාම් (0) පැය භායකට ආසන්න කාලයක් බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුල්ල රැකගැනීමට සමත් වූහ.
පළමු දිනය වූ ඊයේ (23 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 9 ක් දැවී ලකුණු 219 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 7 ක් පමණි. දිනයේ පළමු ඕවරය යැවූ රිතුන්ජෝයි චෞද්‍රි එහි අවසන් පන්දුවේදී රොහාන් සංජයගේ කඩුල්ල බිඳ දමමින් ශ්‍රී ලංකා පළමු ඉනිම නිමාවට පත් කළේය.