Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට

ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට

Nisanka Sandeepani - 2019 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


ලබන මාසයේදී ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට පැවරෙනු ඇතැයි වාර්තා වේ. ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායම බ්‍රහස්පතින්දා (18 වැනිදා) නම්කිරීමට නියමිතය. 

වසර 2015 සිටම මේ දක්වා එකම එක්දින අන්තර්ජාතික තරගයක් හෝ ක්‍රීඩා කර නොමැති දිමුත් කරුණාරත්න ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවා වෙයි. කෙසේ වෙතත් පසුගියදා පැවැති අන්තර් පළාත් සීමිත ඕවර තරගාවලියේදී දිමුත් කරුණාරත්න ලකුණු 165 ක් ලබාගත්තේ ඉනිමකදී ලකුණු 55.00 ක සාමාන්‍යයක්ද රඳවා ගනිමිනි. 

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ සිටි ආරම්භක පිතිකරුවන් වූ උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක ඇතුළු සියලු දෙනාම පාහේ මෙම තරගාවලියේදී අසාර්ථක වූහ. දිගින් දිගටම පැවැති අසාර්ථකත්වය හේතුවෙන් මෙම පිතිකරුවන්ට ලෝක කුසලාන තරගාවලියේ දොරටු වැසී යාමට බොහෝ දුරට ඉඩ තිබේ. 

ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම තෝරාගැනීමේ අරමුණ ඇතිව පැවැත්වූ අන්තර් පළාත් එක්දින තරගාවලියේදී වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වූයේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ය. තරග 4 කදී ලකුණු 227 ක් ලබාගත් මැතිව්ස්ගේ ඉනිමක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 56.75 ක් වූ අතර ප්‍රහාරාත්මක වේගය පන්දු 100 කට ලකුණු 86.97 ක් විය. 

කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ මහතා පුහුණුකරු ධූරයේ කටයුතු කරන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය බාරගැනීම හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි. එවන් තත්ත්වක් මත ආරම්භක පිතිකරුවාගේ භූමිකාවත්, නායකත්වයත් දෙකම දිමුත් කරුණාරත්නට බාරදීමේ අවස්ථාව තේරීම් කමිටුවට ලැබේ. 

ලසිත් මාලිංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගි වූ එක්දින තරග 8 ම පරාජය වීම හේතුවෙන් නව නායකයකු කෙරෙහි අවධානය යොමුකිරීමටද තේරීම් කමිටුවට සිදුව තිබේ. 

“මාලිංග නරක නායකයෙක් නෙමේ....එයාගේ ක්‍රිකට් දැනුම හෝ එයා තරගයකදී කරන දේ සම්බන්ධයෙන් මට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් එයාට පුහුණුකරුවාගේ හෝ ක්‍රීඩකයන්ගේ සහයෝගයක් ලැබෙන්නේ නෑ. මේ වෙලාවේදී අපට ඕනෑ කරන්නේ මේ ක්‍රීඩක පිරිස එකට එකතු කරගත හැකි කෙනෙක්. එහෙම නොවුණොත් අපි මහ විනාශයකට මුහුණ දෙනවා” යයි තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතා ද සන්ඬේ ටයිම්ස් පුවත් පතට ප්‍රකාශ කර තිබිණ. 

මැතිව්ස් නායකත්වය බාරගැනීමට අකමැත්ත ප්‍රකාශ කළ හෙයින් මාලිංගට පෙර සිටි එක්දින නායකයා වූ දිනේෂ් චන්දිමාල් කෙරෙහිද තේරීම් කමිටුව අවධානය යොමු කළේය. 

“ඒත් එයාට කණ්ඩායමේ තැනක් හොයාගන්න පුළුවන්ද ? මේක තමයි අපි මුහුණ දෙන ප්‍රශ්නය...” යයි ද තේරීම් කමිටු සභාපතිවරයා විමසීය. අන්තර් පළාත් තරගාවලියේදී කොළඹ කණ්ඩායමේ නායකත්වය දැරූ චන්දිමාල් තරග දෙකකදී ලකුණු 42 ක් සහ 35 ක් ලබාගත් නමුත් වැඩි යමක් කිරීමට අපොහොසත් විය. 

දෙමසකට ඉහතදී පැවැති දකුණු අප්‍රිකානු සංචාරයේදී ටෙස්ට් පිලේ හිටපු නායක දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වූ හෙයින් කරුණාරත්න ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායකත්වයට පත්විය. දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ දකුණු අප්‍රිකාවේදී පැවැති ටෙස්ට් තරගාවලියේදී 2-0 ක් ලෙසින් සත්කාරක කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගත් එකම ආසියාතික කණ්ඩායම ලෙසින්ද ක්‍රිකට් ඉතිහාසයට එක්වූයේය. 

“නායකයා කියන්නේ කිසිම අපහසුතාවකින් තොරවම කණ්ඩායම ඇතුළේ තමන්ගේ ස්ථානය සොයාගත යුතු කෙනෙක්. ඒ විතරක් නෙමේ...මේ කාරණයේදී පුහුණු කාර්ය මණ්ඩලය සහ තවත් අය එක්ක කතාබහ කරලා ගතයතු තීරණ කිහිපයක්ම තියෙනවා” යයිද අසන්ත ද මැල් මහතා ද සන්ඬේ ටයිම්ස් පුවත්පතට කීවේය. 

ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම තෝරා ගැනීමේ අදහස ඇතිව සංවිධානය කළ අන්තර් පළාත් තරගාවලිය නිමාවේදී තේරීම් කමිටුවට ලැබුණේ පිළිතුරු සංඛ්‍යාවට වඩා දිග ප්‍රශ්න වැලක් බව කිවහොත් එයද අතිශයෝක්තියක් නොවේ. 

“කණ්ඩායමේ තවමත් හිස්තැන් තියෙනවා....”
“වේග පන්දු යවන්නන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් අදහසක් තියෙනවා තමයි. ඒ වුණත් පිතිකරුවන් සහ දඟ පන්දු යවන්නන් ගැන නම් තියෙන්නේ ප්‍රශ්න වැලක්......මේ සේරම විශ්ලේෂණය කරලා තරගාවලිය වෙනුවෙන් හොඳ කණ්ඩායමක් තෝරාගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමේ”
යයි පැවසූ අසන්ත ද මැල් මහතා....

“මම මීට ඉස්සර කවදාවත් මේ වගේ අමාරුවේ වැටිලා නෑ” යයිද පැවසීය. 

අත්දැකීම් ඇති ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා සහ ඉසුරු උදාන වැනි ක්‍රීඩකයන්ට ලෝක කුසලාන කණ්ඩායමේ තැනක් සොයාගත හැකි නමුත් සෙසු ක්‍රීඩකයන්ගේ නම් ඉදිරියේ ඇත්තේ ප්‍රශ්නාර්ථයකි. 

ලෝක කුසලාන තරගාවලියට පෙර සතියක පුහුණු කඳවුරක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස 7 වැනිදා දිවයිනෙන් පිටත්ව යමට නියමිතය. පසුව එක්දින තරග දෙකක් සඳහා ස්කොට්ලන්තය බලා යන ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයට මුහුණ දෙන්නේ ජූනි මස 1 වැනිදා නවසීලන්ත පිලට එරෙහිවය. 


 

 


අදහස් (1)

ලෝක කුසලාන පිලේ නායකත්වය දිමුත්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.