Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ලෝක කුසලානයට යන පාර සෙවීම

ලෝක කුසලානයට යන පාර සෙවීම

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු පිලට එරෙහිව එක්දින තරගාවලිය ආරම්භ කරමින් නායක ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ මෑත අතීතය සහමුලින්ම අමතක කරමින් 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායමක් සකසාගැනීමේ අරමුණ ඇතිව සියල්ල අලුතෙන් ආරම්භ කළ යුතු බවයි. මැතිව්ස්ගේ එම ප්‍රකාශයට බොහෝ දෙනාගේ අනුමැතිය ලැබිණ.

මීළඟ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව ඇත්තේ එක්දින තරග 20 කටත් අඩු සංඛ්‍යාවකි.

2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින තරග පැවැත්වෙන්නේ පහත ආකාරයෙනි.

■    තරග 4 යි - දකුණු අප්‍රිකානු පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී
■    තරග 5 යි - ආසියානු කුසලාන තරගාවලියේදී
■    තරග 5 යි - එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේදී
■    තරග 5 යි - දකුණු අප්‍රිකානු පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී

එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ 8 වැනි ස්ථානයේ සිටින කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමේදී මෙය ඉතාමත් යෝග්‍ය තරග සටහනක් වූවද ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිටින්නේ මහත් විපිළිසර තත්ත්වයෙනි. කණ්ඩායම් කාමරය තුළ රැඳෙන කිසියම් අවිනිශ්චිත බවක් වරෙක ඉන් ඉවතටත් යළි ඇතුළටත් ඇදී යන බවද දැනගන්නට තිබේ. ක්‍රීඩකයන් බියෙන් සළිත වී සිටින බවත්, බියවී ක්‍රීඩා කළ නොහැකි බවත් තවත් අයෙක් කියයි.

ක්‍රීඩකයන්, තමන්ගේ වගකීම කරට නොගෙන සැහැල්ලුවෙන් සිටින බවත්, ළිහිල් බවින් යුතුව මේ ගමන යා නොහැකි බවත් තවත් මතයකි. මෙම තත්ත්වය ක්‍රීඩකයන්ගේ දස්කම් වලට බලපා ඇත්ද යන්න දැකගත හැකිවන්නේ අනිද්දා (1 වැනිදා) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේදීය.

ඒත් ශ්‍රී ලංකාවේදී දඟ කැවෙන තණතීරු සකස් කරමින් තරග ජයගත්තාට ආසියානු කුසලාන පැවැත්වෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීත්, දකුණු අප්‍රිකාවේදී හෝ එංගලන්තයේදීත් ඒවා කළ නොහැකිය. එබැවින් සියලු තැන්හිදී ඇතිවන තත්ත්වයට මුහුණ දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් විය යුතුමය.

තරගාවලියට පෙර ඇන්ජලෝ මැතිව්ස් කළ ප්‍රකාශය පදනම් කරගනිමින්, කිසියම් නිශ්චිත ගණිතමය ක්‍රමවේදයක් අනුව කළ ගණනය කිරීමකින් පසු, දඹුල්ලේදී පැවැති එක්දින තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇත්තේ ‘ලකුණු’ සෘණ සියයකි. (-100). තත්ත්වය ධන මට්ටමකට ගෙන ඒමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පැවැත්වෙන තරග කඩුලු 6 කින් හෝ ලකුණු 100 ඉක්මවූ පරතරයකින් තරගය ජයගත යුතුව තිබේ.

මෙවන් ගණනය කිරීමක් සකස් කර ඇත්තේ මෙතැන් සිට 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මග කෙසේ වේද යන්න පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ට කිසියම් නිශ්චිත අදහසක් ලබාගැනීමේ පහසුව උදෙසාය.

2019 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේරීම් කමිටුවට සැලසුම් කිහිපයක්ම තිබේ. ඉන් පළමු වැන්න නායක ඇන්ජලෝ මැතිව්ස් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය දක්වා නිරුපද්‍රිතව ක්‍රීඩා කරනු ඇතැයි යන ප්‍රාර්ථනාවයි. මැතිව්ස් පසුගිය කාලයේදී ආබාධ කිහිපයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායමට නායකයන් කිහිප දෙනකුම පත්කිරීමට සිදුවූ අතර ඒ හේතුවෙන් කණ්ඩායම තුළ විවිධ ආකාරයේ වෙනස්කම්ද ඇතිවිය.

යම් හෙයකින් මැතිව්ස්ට අවාසනාව හරස් වුවහොත් එක්දින පිලේ නායකත්වයට ආසන්නයෙන්ම සිටින දෙදෙනා වන්නේ දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරා බව තේරීම් කමිටුවේ මතයයි. එහෙත් මේ වනවිට කණ්ඩායමෙන් ඉවත සිටින චන්දිමාල් කිසියම් විශේෂ යමක් කරමින් නැවත වරක් කණ්ඩායම තුළ තමන්ගේ ස්ථානය තහවුරුකරගත යුතුවන අතරම තිසර පෙරේරාටද කඩයිම් කිහිපයක්ම දී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු තිලාන් සමරවීර මහතා පවසන පරිදි තිසර පෙරේරා පසුගිය කාලයේදී පිතිකරුවකු වශයෙන් සීඝ්‍ර දියුණුවක් ලබා තිබේ. දකුණු අප්‍රිකානු පිලට එරෙහිව දඹුල්ලේදී ඉරිදා (29) පැවැති තරගයෙන් පසුව සමරවීර මහතා එසේ කියා සිටියේය.

“එයා දැවීගියාට පස්සේ ක්‍රීඩාගාරයට ඇවිත් බොහොම කණස්සල්ලෙන් හිටියේ. අද අපි දැක්ක හොඳ දේ ඒකයි”
“අපි එයාත් එක්ක ගොඩාක් දේ සාකච්ඡා කළා. වාද විවාද වගේම එකඟවීම් ගොඩක් තිබුණා. 2019 ලෝක කුසලාන තරගාවලියේදි එයාව අපට කොයිතරම් වැදගත්ද කියලා අපි එයාට පෙන්නලා දුන්නා...කොහොම වුණත් දැන් එයා හරි පාරට වැටිලා තියෙනවා” යයිද තිලාන් සමරවීර මහතා පැවසීය.

“ඔය යෝදයාට තියෙන හැකියාව මට තිබුණා නම් කරන දේ මම දන්නවා” යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවකු වන තිලකරත්න ඩිල්ෂාන් වරක් කීවේය. ඩිල්ෂාන් එසේ කීවේ 2015 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර තරගය නිමවා ආපසු එන ගමනේ නවසීලන්තයේ ඩනෙඩීන් නුවර ගුවන් තොටුපොළේදීය.

2015 ලෝක කුසලාන තරගාවලියේදී ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැති තරගයේදී මහේල ජයවර්ධන (100) අගනා ශතකයක් ලබාගත් නමුත් තිසර පෙරේරා නොදැවී ලබාගත් ලකුණු 47 නොතිබෙන්නට ශ්‍රී ලංකා පිල එම තරගය පරාජය වන්නටත් ඉඩ තිබිණ.

කඩොල් ඇතා පිට වැටෙන්නට ගිය විජිතපුර පවුරට උරදුන් නන්දිමිත්‍ර යෝධයා මෙන් අවශ්‍ය අවස්ථාවේදී ඉදිරියට පැන කණ්ඩායම වෙනුවෙන් සුවිශේෂී යමක් කිරීමේ හැකියාවෙන් අනූන වූවත් තිසරගේ දස්කම් අපතේ ගියේ වරක් දෙවරක් නොවේ.

2009 දෙසැම්බර් මාසයේදී ඉන්දියාවට එරෙහිව කොල්කටා නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූදා පටන් මේ දක්වාම ඔහුගේ පිතිහරඹදීයේ මෙන්ම පන්දු යැවීමේදීත් නුවණ මෙහෙයවා කටයුතු නොකිරීමෙන් ශ්‍රී ලංකාවට මෙන්ම තිසරට බොහෝ දේ අහිමි විය. තමන් උපතින් දායාද කරගත් දස්කම් දියුණු කරගත්තේ නම් ලෝකයේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයකු වීමේ අවස්ථාව තිසරට තිබිණ.

2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිළිබඳ පැහැදිළි අදහසක් තේරීම් කමිටුවට තිබෙන නමුත් ක්‍රීඩකයන් හත් අට දෙනකුගේ හැරෙන්නට අනෙක් අයගේ ස්ථාන කිසිවක් ස්ථාවර වී නැත. ස්ථාවර වේග පන්දු යවන්නන් සිවු දෙනකු සමගින් තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකු සොයාගැනීම තේරීම් කමිටුවේ අපේක්‍ෂාවයි. ඉතිරි ස්ථාන දඟ පන්දු යවන්නකුට සහ පිතිකරුවන්ට වෙන් කෙරෙනු ඇත.

මෙවන් තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය තමන්ට කොයිතරම් වැදගත් වන්නේද යන්න තේරුම් ගැනීම ක්‍රීඩකයන්ගේ වගකීමකි. එම වගකීම නිසියාකාරව තේරුම් ගනිමින් පන්දුව මෙන්ම පිත්තත් හසුරුවාගන්නේ නම් ඉරිදා හැන්දෑවේ දඹුල්ලේදී මුහුණ දුන් ආකාරයේ අපහසුතාවන්ට ඔවුන් මුහුණ නොදෙනු ඇත.

 

ඡායාරූපය - ශාන්ත රත්නායක


අදහස් (0)

ලෝක කුසලානයට යන පාර සෙවීම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.