Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner වාද විවාද මැද කොදෙව්වෝ තරගාවලිය දිනති

වාද විවාද මැද කොදෙව්වෝ තරගාවලිය දිනති

Nisanka Sandeepani - 2018 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අර්බුද, විවාද සම්පන්න සිදුවීම් මෙන්ම හිසකේ කෙළින් සිටුවන තත්ත්වයන් ඕනෑවටත් වඩා තිබුණු තරගයකින් පසු ලකුණු 50 ක ජයක් ලබාගත් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ විස්සයි-20 තරගාවලියේ ශූරතාව දිනාගත්හ. තරග 3 කින් සමන්විත තරගාවලියේදී ඊයේ (22 වැනිදා) රාත්‍රියේ පැවැති තරගය ජයගැනීමත් සමගම කොදෙව් පිල විසින් තරග 2-1 ක ජයක් අත්කර ගන්නා ලදි. 

පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් පිල වෙනුවෙන් ඊවින් ලුවිස් කළ ප්‍රචණ්ඩ පිතිහරඹය නිසා කොදෙව්වෝ ලකුණු 191 ක් ලබාගත්හ. සත්කාරක බංග්ලාදේශ කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 140 ක් පමණි. පන්දු 36 කට මුහුණ දුන් ඊවින් ලුවිස් දැවැන්ත හයේ පහර 8 කින් සහ හතරේ පහර 6 කින් සිය ඉනිම අලංකාර කළේය. 

අතිශය සාර්ථක ආරම්භයක් ලබාගත් කොදෙව් පිල 14 වැනි ඕවරයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 159 ක් ලබා සිටියේය. එහෙත් සකිබ් අල් හසන් (37/3) මුෂ්ෆිකුර් රහීම් (33/3) සහ මහමදුල්ලාගේ (18/3) පන්දු යැවීම හේතුවෙන් අවසන් කඩුලු හයම ලකුණු 31 ක් තුළදී ඇද වැටිණ. 

බංග්ලාදේශය වෙනුවෙන්ද සාර්ථක ආරම්භයක් ගත් ලිටන් දාස් (43) සහ සෞම්‍ය සාර්කර් පන්දු 16 කදී ලකුණු 41 ක් පුවරුවට එක්කළද නිපන්දුවක අර්බුදයෙන් පසුව තත්ත්වය එහෙම පිටින්ම කණපිට හැරුණේය. 

ඔෂේන් තෝමස් විසින් යවන ලද පන්දුවක් විනිසුරු තන්වීර් අහමඞ් මහතා විසින් නිපන්දුවක් යයි ලෙසින් සංඥා කිරීම නිසා ලිටන් දාස් ඊට වැරේ පහරක් ගැසුවේය. ගුවනේ ඉහළ ගිය පන්දුව මිඞ් ඕෆ්හි සිටි ක්‍රීඩකයා විසින් රැකගන්නා ලදි. 

කෙසේ හෝ පිටියේ ඇති දැවැන්ත තිරයෙන් පන්දුව නිපන්දුවක් නොවූ බව කොදෙව් නායක කාලෝස් බ්‍රැත්වෙයිට් දැක්කේය. ඔහු තම පන්දු යවන්නා වෙනුවෙන් ඉදිරිපත් වූයෙන් පන්දුවේ නීත්‍යානුකුල භාවයත් විනිසුරුවරයාට වූ වැරදීමත්, විනිසුරු තීරණය හමුවේ තම පහර ක්‍රියාත්මක කිරීමත් අතර දැවීයාමේ වලංගුභාවය එහා මෙහා යන්නට විය.  

විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය මගින් විනිසුරුවරයාගේ තීන්දුව වෙනස් කරන ලද නමුත් මෙම අවස්ථාවේදී නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගිණ. තරග තීරක ජෙෆ් ක්‍රෝ මහතා සහ විනිසුරුවරුන් අතර පැවැති සාකච්ඡාවට පසුව කොදෙව් නායක කාලෝස් බ්‍රැත්වෙයිට්ද එක්විය. සාකච්ඡාව උණුසුම් වෙද්දී කොදෙව් කණ්ඩායමේ පුහුණු සහායකයන් වන රෝ ලුවිස් සහ ෆ්ලොයිඞ් රීෆර්ද ඊට එක්වූහ. 

කෙසේ වෙතත් අවසන් නිගමනය වූයේ පන්දුව නිපන්දුවක් බවයි. මක්නිසාද යත් පිටියේ විනිසුරුවරයා විසින් (වැරදි සහගත ලෙසින් හෝ) එය නිපන්දුවක් බව නම්කරන ලද හෙයින් එය මානව අත්වරදීමක් ලෙස පිළිගත යුතු බැවිනි. එනිසා පන්දු රකින කණ්ඩායමට එය විතීවි ක්‍රමවේදයට යොමුකිරීමේ අවස්ථාවක් නොතිබිණ. 

තීරණය තමන්ට අවසිදායක වූ බැවින් පිටිය මැද ඒකරාශී වූ කොදෙව් ක්‍රීඩකයෝ වඩාත් දරුණු ලෙසින් සටන් කරන්නට වූහ. බවුන්සර් පන්දු එන්න එන්නම වැඩි විය. 

පස්වැනි ඕවරයේදී සෞම්‍ය සාර්කර් දැවී යාමත් සමගින් ලකුණු 75 ක් ඇතුළත බංග්ලාදේශ කඩුලු 9 ම ඇදවැටිණ. වේග පන්ද යවන කීමෝ පෝල් ලකුණු 15 කට කඩුලු 5 ක් දවාගත්තේ බංග්ලාදේශ පිතිකරුවන්ගේ දුර්වල පහර තේරීම හේතුවෙනි. කෙසේ වෙතත් පසුව ක්‍රිකට් විශාරදයන්ගේ මතය වූයේ මෙම තීන්දුව ලබැගැනීම සඳහා ඇතිවූ දීර්ඝකාලින ප්‍රමාදය හේතුවෙන් බංග්ලාදේශ පිතිකරුවන් එකා පසුපස එකා දැවී ගිය බවයි. නිපන්දුව යැවෙන විට බිඳ වැටී තිබුණේ බංග්ලාදේශ පිලේ එක කඩුල්ලක් පමණි. 

බටහිර ඉන්දීය කොදෙව් - ඕවර 19.2 කදී 190 යි
(ඊවින් ලුවිස් 89, ෂායි හෝප් 23, රෝමන් පවෙල් 19, නිකොලස් පූරන් 29, සකිබ් අල් හසන් 37/3,  මුෂ්ෆිකුර් රහීම් 33/3, මහමදුල්ලාගේ 18/3)

බංග්ලාදේශය ඕවර 17 කදී 140 යි
(ලිටන් දාස් 43, මහමදුල්ලා 11, මෙහෙදි හසන් 19, අබු හයිදර් 22, ෆේබියන් ඇලන් 19/2, කීමෝ පෝල් 15/5)

 


අදහස් (0)

වාද විවාද මැද කොදෙව්වෝ තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.