Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට එරෙහිව එරටදී පැවැති ටෙස්ට් තරගාවලිය මෙන්ම එක්දින තරගාවලියද පරාජයට පත්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, විස්සයි20 තරගාවලිය හෝ ජයගෙන සිය පරාජයන් මාලාවට තිත තැබීමේ බලාපොරොත්තුවෙන් හෙට (20 වැනිදා) තරග බිමට පිවිසෙනු ඇත.
තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු තරගය හෙට කටාක්හි බරබාති ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය.
එක්දින තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයන් අතුරින් සුරංග ලක්මාල් සහ ළහිරු තිරිමාන්න හැරුණු විට සෙසු ක්‍රීඩකයන් සියලු දෙනාම විස්සයි20 සංචිතයටද ඇතුළත්ව සිටින අතර ලක්මාල් සහ තිරිමාන්න වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක සහ වේග පන්දුයවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු සංචිතයට කැඳවා සිටිති.
කෙසේ වුවත් හෙට තරගය සඳහා දසුන් ශානක ක්‍රීඩා කිරීමට ඇති ඉඩ කඩ ඉතාමත් අල්ප වන අතර තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් සහ අසේල ගුණරත්න යන තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනාම කණ්ඩායමට ඇතුළත්ව සිටීම ඊට ප්‍රධානතම හේතුව ලෙස දැක්විය හැකිය.
ක්‍රිකට් ක්‍රීඩාවට අලුතින්ම හඳුන්වා දුන් ආකෘතිය වන දහයයි10 තරගාවලියේදී කළම්බු ලයන්ස් කණ්ඩායම නියෝජනය කිරීමෙන් අනතුරුව විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා විස්සයි20 සංචිතයට ඇතුළත්ව සිටියි. දහයයි10 තරගාවලියේ තරග 2 කට සහභාගි වූ විශ්ව එහිදී පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගෙන වරෙක වැඩිම කඩුලු ලාභින් අතර පෙරමුණද ගෙන සිටියේය.
තිසර, මැතිව්ස් මෙන්ම අසේලද වේග පන්දුයවන්නන් ලෙස කටයුතු කරන බැවින් බොහෝ දුරට හෙට තරගයේදී තවත් එක් වේග පන්දුයවන්නකු පමණක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇතැයි අනුමාන කළ හැකිය.
ඒ අනුව හෙට තරගයේදී කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගැනීම සඳහා නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර සහ විශ්ව ප්‍රනාන්දු අතර තුන් කොන් සටනක් හටගෙන තිබේ. කෙසේ වුනත් දැනට සංචිතයේ සිටි අත්දැකීම් බහුලම වේග පන්දුයවන්නා වීම නිසා නුවන් ප්‍රදීප් හෙට තරගයේදී කණ්ඩායමට ඇතුළත්වීමට වැඩි ඉඩක් පවතී.
ඉකුත් ජනවාරි මස එංගලන්තයේදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවැති තරගය අතරතුරදී ආබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරා, එම ආබාධ තත්ත්වයෙන් සුවය ලබා නැවතත් කණ්ඩායම එක්ව සිටින අතර ඔහු හෙට තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව දැනගන්නට ලැබේ.
කුසල්ගේ පැමිණීමත් සමග කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලයේ වෙනසක් කීරීමටද කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගෙන ඇතැයි වාර්තාවේ. ඒ අනුව හෙට තරගයේදී ධනුෂ්ක ගුණතිලක සමගින් උපුල් තරංග වෙනුවට කුසල් ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට නියමිතය. එහෙත් එසේ සිදුවුවහොත් එය එක්දින තරගාවලිය පුරා ලකුණු අතර සිටි උපුල් තරංග අංක 3 ස්ථානයට ආදේශ වීමට ඉඩ තිබේ.
අර්ධ ශතකයක් සමගින් එක්දින තරග 3 දී ලකුණු 137 ක් ලබාගත් තරංග එහිදී ආරම්භක පිතිකරුවකු ලෙස වඩාත් සාර්ථක විය. එම තරගාවලියේදී පමණක් නොව ඔහුගේ ක්‍රීඩා දිවිය දෙස බලන කළ ඔහු වැඩියෙන් ලකුණු ලබාගෙන ඇත්තේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ තරගවලදී බව පෙනී යයි.
ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් බහුතරය වමත්කාරයන් වන හෙයින් දකුණත් පිතිකරුවකු වන සධීර සමරවික්‍රමට පිතිකරු ලයිස්තුවේ ස්ථානයක් හිමිවීමට බොහෝ ඉඩකඩ තිබේ.
තුන් ඉරියව් ක්‍රීඩකයන් වන චතුරංග ද සිල්වා සහ සචිත් පතිරණ අතරින් බොහෝ දුරට එක් අයෙකුට පමණක් හෙට තරගයට සහභාගි වීම සඳහා අවස්ථාවක් හිමිවන අතර එක්දින තරග 3 ටම ක්‍රීඩා කළ සචිත් පතිරණ එහිදී අසාර්ථක වීම නිසා හෙට තරගය සඳහා චතුරංග ද සිල්වා කැඳවීමට වැඩි ඉඩක් පවතී.
එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයට සූදානම් වීම සඳහා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම විවේක ගන්වමින් විස්සයි20 තරගාවලියට සහභාගිවන ඉන්දියාව, තවමත් විස්සයි20 ජාත්‍යන්තර අත්දැකීම් ලබා නොමැති නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට කණ්ඩායමේ දොරටු විවර කර තිබේ.
මෙම තරගාවලියේදී නිත්‍ය නායක විරාට් කෝලි, ආරම්භක පිතිකරු ශිකර් ධවාන්, තුන් ඉරියව් ක්‍රීඩක කේදර් ජාදව් සහ වේග පන්දුයවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් විවේක ගන්වා ඇති ඉන්දීය තේරීම් කමිටුව ඔවුන් වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩකයන් වන දීපක් හූඩා සහ වොෂිංටන් සුන්දර්ද, වේග පන්දු යවන්නන් වන මොහොමඞ් සිරාජ්, බාසිල් තම්පි සහ ජයදේව් උන්ඞ්කට්ද ඉන්දිය සංචිතයට කැඳවා තිබේ.
නවක ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත කණ්ඩායමක් වුවද, ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව දකුණු අප්‍රිකානු තරගාවලියට පිවිසීම සඳහා මෙම තරගාවලියද ජය ගැනීමේ අරමුණින් ඉන්දීය කණ්ඩායම හෙට තරගය සඳහා සහභාගි වෙයි. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනකුගේම සේවය ඉන්දීය කණ්ඩායමට අහිමි වී තිබීම නිසා එහිදී අත්දැකීම් බහුලම ක්‍රීඩකයන් වන මහේන්ද්‍ර සිං දෝනිට සහ නායක රෝහිත් ශර්මාට වැඩි වගකීමක් පැවරී තිබේ.
ඉන්දීය කණ්ඩායමේ නවතම සොයා ගැනීම වන දඟ පන්දුයවන ක්‍රීඩක යුස්වේන්දර් චාහල් සහ කුල්දීප් යාදව් සුසංයෝගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වන තර්ජනයද සුළුපටු ලෙස සැලකිය නොහැකිය. එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිසරදයක් වූ පා දඟ පන්දුයවන ක්‍රීඩක චාහල් සහ චයිනමන් පන්දුයවන ක්‍රීඩක යාදව් තරග 3 කදී එක්ව දවාගත් කඩුලු සංඛ්‍යාව 9 කි.
මේ දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි20 තරග 11 ක් පවත්වා ඇති අතර අවසන් වරට ශ්‍රී ලංකාවේදී පැවැති තරගයත් ඇතුළත්ව ඉන් තරග 7 ක් ජයගැනීමට ඉන්දියාව සමත්ව තිබේ. එහිදී ශ්‍රී ලංකාවට ජයගත හැකිවී ඇත්තේ තරග 4 ක් පමණි. පිට පිටම විස්සයි20 තරග 5 ක් පරාජයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මෙම තරගාවලියට පිවිසෙන අතර ඉන්දියාව ඊට පිවිසෙන්නේ නවසීලන්තයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමෙන් පසුවය.
ශ්‍රී ලංකා සංචිතය
තිසර පෙරේරා (නායක), උපුල් තරංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, සධීර සමරවික්‍රම, දසුන් ශානක, චතුරංග ද සිල්වා, සචිත් පතිරණ, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් සහ විශ්ව ප්‍රනාන්දු
ඉන්දීය සංචිතය
රෝහිත ශර්මා (නායක), ලෝකේෂ් රාහුල්, ශ්‍රෙයාස් අයියර්, මනීෂ් පාණ්ඬේ, දිනේෂ් කාර්තික්, මහේන්ද්‍ර සිං දෝනි, හර්දීක් පාණ්ඩ්‍යා, වොෂිංටන් සුන්දර්, යුස්වේන්දර් චාහල්, කුල්දීප් යාදව්, දීපක් හූඩා, ජස්ප්‍රීට් බුම්රා, මොහොමඞ් සිරාජ්, බාසිල් තම්පි සහ ජයදේව් උනාඞ්කට්
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.