Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner වේගපන්දු යවන්නෝ ද.අප්‍රිකා ඉනිම වනසති

වේගපන්දු යවන්නෝ ද.අප්‍රිකා ඉනිම වනසති

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එංගලන්තයේ කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (28 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි දකුණු අප්‍රිකාව ලකුණු 126 කට කඩුලු 8 ක් අහිමි කරගෙන සිටියේය.


ටෙම්බා බවුමා ලකුණු 34 ක් සහ මෝර්න් මෝකල් ලකුණු 2 ක් රැස්කර ගනිමින් කඩුල්ලේ රැඳී සිටිති.


මංගල තරගයේදීම විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ටොබී රෝලන්ඞ්-ජෝන්ස් දකුණු අප්‍රිකානු කොදුනාරටික කඩා දමමින් මුල් පෙළ පිතිකරුවන් සිවුදෙනාම නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් විය.


ලකුණු 61 කට කඩුලු 7 ක් දැවී තිබියදී එක්වූ ටෙම්බා බවුමා සහ කගිසෝ රබාඩා අටවැනි කඩුල්ල සදහා ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩාවැටුණු දකුණු අප්‍රිකා ඉනිම ගොඩනැගීමට පරිශ්‍රමයක් දැරූහ. ක්‍රිස් බ්‍රෝඞ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 30 ක් රැස්කර සිටි කගිසෝ රබාඩා දැවීයාමත් සමගින් දකුණු අප්‍රිකානුවන්ගේ බලාපොරොත්තු නැවතත් සුන්වී ගියේය.

සියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම අද දිනයේ තේ පානය සඳහා තරගය නතර කිරීමට පැයකට පමණ පෙර සියලු දෙනා දැවී ලකුණු 353 ක් ලබා ගත්තේය. එංගලන්ත ඉනිමේ කොඳු නාරටියට බවට පත්වූ බෙන් ස්ටොක්ස් දැවැන්ත හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 112 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ස්ටොක්ස් දැවී ගියේ මෝනි මෝකල්ගේ පන්දුවක් හමුවේ කගිසෝ රබාඩා අතට උඩ පන්දුවක් දෙමිනි.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී 269 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමේ ඉතිරි කඩුලු 4 ලකුණු 84 ක් ඇතුළත බිඳ වැටිණ. දිවා ආහාරයෙන් අනතුරුව මෝනි මෝකල්ගේ දෙවැනි ගොදුර බවට පත්වෙමින් ලකුණු 16 ක් ලබා සිටි මුයින් අලී දැවී ගිය අතර ඉන් පසුව පිටියට පිවිසි රෝලන්ඞ් ජෝන්ස් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් වේගවත් ලකුණු 25 ක් එංගලන්ත ඉනිමට එක් කළේය.

කේෂව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීම නිසා රෝලන්ඞ් ජෝන්ස්ට සිය වේගවත් පිතිහරඹය නවතා දමා ආපසු ක්‍රීඩාගාරයට පියමන් කිරීමට සිදුවිය. ඔහුගේ දැවීයෑමෙන් පසුව පන්දුවට පහරදීම සඳහා පැමිණි ස්ටුවට් බ්‍රෝඞ්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට නොහැකි වූ අතර කගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ හෂීම් අම්ලා අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විය ඔහු ලබා සිටියේ එක් ලකුණක් පමණි.

තරගයේ පළමු දිනය වූ ඊයේ (27 වැනිදා) වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 171 ක් ලබා සිටි එංගලන්ත ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිම සඳහා තවත් ලකුණු 182 ක් එක් කරගත්හ. ලකුණු පුවරුවට ලකුණු 12 ක් වන විට දිනයේ පළමු කඩුල්ල ලෙස ඇලිස්ටෙයාර් කුක් පිටියෙන් ඉවත් කිරීමට මෝනි මෝකල් සමත් විය. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට ඔහු හතරේ පහර 10 ක් සමගින් ලකුණු 88 ක් ලබා සිටියේය.

කුක්ගේ දැවීයෑමෙන් අනතුරුව බෙන් ස්ටොක්ස් (නොදැවී 64) සමග එක්වූ ජොනී බෙයාස්ට්‍රෝ (36) එංගලන්ත ඉනිමේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. එහෙත් මෝනි මෝකල්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටින් ඩි’කොක් අතට උඩ පන්දුවක් දෙමින් බෙයාස්ට්‍රෝ දැවීයෑමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණ.

එංගලන්තය - පළමු ඉනිම සියලු දෙනා දැවී 353
(ඇලිස්ටෙයාර් කුක් 88, ටොම් වෙස්ට්ලි 25, ජෝ රූට් 29, බෙන් ස්ටොක්ස් 112, ජොනී බෙයාස්ට්‍රෝ 36, මුයින් අලී 16, රෝලන්ඞ් ජෝන්ස් 25, මෝනි මෝකල් 70/3, වර්නන් පිලැන්දර් 32/2, කගිසෝ රබාඩා 85/2)

දකුණු අප්‍රිකාව - පළමු ඉනිම කඩුලු 8 ක් දැවී 126
(ටෙන්ඩා බවුමා නොදැවී 34, කගීසෝ රබාඩා 30, ටොබී රෝලන්ඩ්-ජෝන්ස් 39/4, ජේම්ස් ඇන්ඩර්සන් 16/2)

 

- 036


අදහස් (0)

වේගපන්දු යවන්නෝ ද.අප්‍රිකා ඉනිම වනසති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.