Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශර්මා - ධවාන් ඉන්දීය ජයග්‍රහණය ඉක්මන් කරති

ශර්මා - ධවාන් ඉන්දීය ජයග්‍රහණය ඉක්මන් කරති

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නායක රෝහිත් ශර්මා (නොදැවී 111) සහ ශිකර් ධවාන් (114) එක්ව ආරම්භ කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ වාර්තාගත සම්බන්ධතාව හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ තෙවැනි තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර අද (23 වැනිදා) ඩුබායි ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.

 
මෙම ජයග්‍රහණයත් සමග සුපිරි හතරදෙනාගේ වටයේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් මහ තරගයේ ස්ථානයක් වෙන්කර ගැනීමට ඉන්දීම කණ්ඩායමට හැකි විය. පාකිස්තාන කණ්ඩායමට අවසන් මහ තරගයට පිවිසීමට නම් සුපිරි හතරදෙනාගේ වටයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගය අනිවාර්යෙන්ම ජයගත යුතුව තිබේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 238 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 39.3 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී පහසුවෙන්ම එම ඉලක්කය සපුරාගත්හ. පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 201 කදී ලකුණු 201 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගූ නායක රෝහිත් ශර්මා (නොදැවී 111) සහ ශිකර් ධවාන් (114) ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළහ.

ලකුණක් ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවකදී ධවාන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට හසන් අලී සහ ෂොයිබ් මලික් සමත් නොවන්නට ඉන්දීය කණ්ඩායමට මෙම තරගයෙන් කඩුලු 10 ජයක් අත්වීමටද ඉඩ තිබිණ.

පන්දු 119 කට මුහුණුදුන් ශර්මා සිය 19 වැනි එක්දින ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 7 කින් අලංකාර කළ අතර පන්දු 100 කදී වාර්තා වූ ධවාන්ගේ 16 වැනි එක්දින ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 16 ක් අන්තර්ගත විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 237 ක් ලබාගත්තේය. පාකිස්තාන ඉනිමේ කොඳුනාරටිය බවට පත්වූ ෂොයිබ් මලික් පන්දු 90 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 78 ක් රැස්කළේය. ලකුණු 58 කට කඩුලු 3 ක් බිඳවැටී අසීරු තත්වයකට පත්ව තිබූ පාකිස්තාන කණ්ඩායම එම තත්වයෙන් මුදවාගැනීම සඳහා නායක සර්ෆරාස් අහමඞ් (44) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 138 කදී ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මලික් සමත් විය.  

කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ රොහිත් ශර්මා අතට උඩ පන්දුවක් දෙමින් අහමඞ් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්වූ අතර දැවී යන විට පන්දු 66 කට මුහුණදී සිටි අහමඞ්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් වී තිබිණ. පන්දු 21 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග වේගවත් ලකුණු 30 ක් රැස්කළ අසීෆ් අලීද පාකිස්තාන ඉනිම ගොඩනැගීම සඳහා මලික්ට අනගි සහායක් දුන්නේය.

ජස්ප්‍රීට් බුම්රාගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනි අතට උඩ පන්දුවක් දෙමින් මලික් පිටියෙන් ඉවත්ව ගිය අතර ඔහුගේ දැවී යෑමෙන් අනතුරව නැවතත් පාකිස්තාන කාණ්ඩායම අගාධයට ඇද වැටිණ. මලික්ගේ දැවී යෑමෙන් පසුව පසුපෙළ පිතිකරුවන්ට පාකිස්තාන ඉනිමේ අවසන් ඕවර 7 තුළ ලබාගත හැකිවූයේ ලකුණු 31 ක් පමණි.

ආරම්භක පිතිකරු ෆකාර් සමාන් පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 31 ක් ලබා සිටියදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුමින් දැවීගිය අතර එහිදී විනිසුරු තීරණ වීමසීමේ අවස්ථාව ලබාගැනීමට ඔහු පියවර නොගත්තේය. කෙසේ වුවත් එම දැවීයෑමේ පුණුරූපන නැරඹීමේදී පෙනී ගියේ පන්දුව ඔහුගේ පා ආවරණයේ වැදීමට පෙර අත් ආවරණයේ වදින බවකි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රීට් බුම්රා මුල් ඕවර කිහිපයේදී මෙන්ම අවසන් ඕවර කිහිපයේදීද පිතිකරුවන්ට හයේ සහ හතරේ පහර ලබානොදෙමින් පාකිස්තාන කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල කළේය.

එහිදී සිය ඕවර 10 ලකුණු 29 කට සීමා කිරීමට බුම්රා සමත් වූයේ ෂොයිබ් මලික්ගේ සහ ශඩාබ් ඛාන්ගේ කඩුල් දවාගනිමිනි. කුල්දීප් යාදව් සහ යුස්වේන්ද්‍ර චාහල්ද කඩුලු 2 බැගින් දවාගනිමින් පාකිස්තාන පිතිකරුවන් අසරණ කිරීම සඳහා බුම්රාට අනගි සහායක් දුන්හ.


පාකිස්තානය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 237
(ෆකාර් සමාන් 31, සර්ෆරාස් අහමඞ් 44, ෂොයිබ් මලික් 78, අසීෆ් අලී 30, ජස්ප්‍රීට් බුම්රා 29/2, කුල්දීප් යාදව් 41/2, යුස්වේන්ද්‍ර චාහල් 46/2)

ඉන්දියාව - ඕවර 39.3 කදී කඩුල්ලක් දැවී 238
(ශිකර් ධවාන් 114, රෝහිත් ශර්මා නොදැවී 111, අම්බටි රයිඩු නොදැවී 12)

 


 

- 036

 


අදහස් (0)

ශර්මා - ධවාන් ඉන්දීය ජයග්‍රහණය ඉක්මන් කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.