Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා ඉනිම ලකුණු 185 කට සීමා වෙයි

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 185 කට සීමා වෙයි

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ‘සෝබර්ස් - තිසේරා කුසලාන’ ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 185 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ.

ක්වීන්ස් පාක් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය තෙවැනි දිනය (8 වැනිදා) සඳහා නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව්වෝ කඩුලු 4 ක් දැවී ලකුණු 131 ක් ලබා සිටියහ.

ඒ අනුව කොදෙව් කණ්ඩායම තවත් කඩුලු 6 ක් අතැතිව ශ්‍රී ලංකාවට වඩා ලකුණු 360 ක් ඉදිරියෙන් සිටියි. තෙවැනි දිනය අවසන්වන වට පන්දුවට පහරදෙමින් සිටි කිරන් පවෙල් හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 64 ක්ද, ෂේන් ඩොව්රිච් හතරේ පහරක් සමග නොදැවී ලකුණු 11 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

කොදෙව් දෙවැනි ඉනිමේ බිඳවැටුණ කඩුලු 4 න් දෙකකටම හිමිකම් කීමට ළහිරු කුමාර සමත් වූ අතර ඔහුගේ පන්දු හමුවේ නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් දෙමින් ක්‍රෙග් බ්‍රැත්වේට් ලකුණු 16 කටද, කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් ෂායි හෝප් එක් ලකුණුකටද පිටියෙන් ඉවත්ව ගියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 36 ක් වන විට ආරම්භක පිතිකරු ඩෙවෝන් ස්මිත්ගේ (20) කඩුල්ල බිඳ දැමීමට සුරංග ලක්මාල් සමත් වූ අතර සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි රොස්ටන් චේස් ලකුණු 12 කට දැවී ගියේ රංගන හේරත්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.

දෙවැනි දිනය වූ පෙරේදා (7 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 31 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට තෙවැනි දිනය වූ ඊයේ (8 වැනිදා) සිය පළමු ඉනිමට අළුතින් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 154 ක් පමණි. පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් ආපසු ගොස් ක්‍රීඩාගාරයට ගොස් අසුන් ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක දිනේෂ් චන්දිමාල් හතරේ පහර 5 ක් සමග ලකුණු 44 ක් රැස්කළේය. ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වෙමින් සිටි චන්දිමාල්, අර්ධ ශතකය පෙනි පෙනී පිටියෙන් ඉවත්ව ගියේ ශැනොන් ගේබි්‍රයෙල්ගේ පන්දුවක් හමුවේ රොස්ටන් චේස් අතට උඩ පන්දුවක් දෙමිනි.

ලකුණු 43 කඩ කඩුලු 4 ක් බිඳවැටී අසීරු තත්වයකට පත්ව තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තත්වයෙන් මුදවාගත් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල (31) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. ක්‍රෙග් බ්‍රැත්වෙට් විසින් දුවද්දී දවාගැනීමකට හසුකරගනු ලබද්දී දික්වැල්ලගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් වී තිබිණ.

ශ්‍රී ලංකා පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී වූ මිගෙල් කමින්ස් ලකුණු 39 කට කඩුලු 3 බිඳහෙළීමට සමත් වූ අතර ඒ සඳහා ඔහුට අනගි සහායක් දුන් කේමර් රෝච් සහ ශැනෝන් ගේබි්‍රයෙල් කඩුලු 2 බැගින් දවාගත්හ.

- 036


අදහස් (0)

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 185 කට සීමා වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.