Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි තරගය ලෙස ඇෆ්ගනිස්තාන නැඟී එන කණ්ඩායමට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9 ක් දැවී අවසන් ඕවරයේ දෙවැනි පන්දුවේදී එම ඉලක්කය පසුකර ගියහ. අවසන් පිතිකරුවන් දෙදෙනා වූ ලසිත් ඇඹුල්දෙණිය (නොදැවී 6) සහ අසිත ප්‍රනාන්දු (නොදැවී 9) එක්ව 10 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 14 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරුවා බවට පත්වූ කමිඳු මෙන්ඩිස්, 45 වැනි ඕවරයේ පළමු පන්දුවේදී දැවී ගියේ කරීම් ජානට්ගේ පන්දුවක් හමුවේ රාමනුල්ලා ගුර්බස් අතට උඩපන්දුවක් දෙමිනි. ඔහුගේ දැවී යෑමත් සමග ශ්‍රී ලංකා කණ්ඩාමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 8 කට ලකුණු 197 ක් බවට පත්විය. එතැන් පටන් කණ්ඩායමේ බර සිය උරහිස මතට ගත් ලසිත් සහ අසිත කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.
ඉතාමත් සංයමයකින් යුතුව පන්දුවට පහර දුන් කමිඳු මෙන්ඩිස්, පන්දු 98 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 71 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය. නායක සම්මු අෂාන් (34) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97 දී ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීමටද මෙන්ඩිස් සමත් විය. පන්දු 45 කට මුහුණ දුන් සම්මු හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසීය.
ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු පන්දු 31 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 34 ක්ද, අසේල ගුණරත්න පන්දු 35 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 32 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට සිය දායකත්වය සැපයූහ. ඕමානයට එරෙහිව පැවැති පළමු තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වූ සඳුන් වීරක්කොඩි සහ හසිත බෝයගොඩද සමගින් ශ්‍රී ලංකා පිතිකරුවන් සිවුදෙනෙක්ම එක් ලකුණුක් බැගින් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත් වූ සියාවුර් රෙහෙමාන් ලකුණු 33 කට කඩුලු 3 ක් දවාගත්තේ නායක සම්මු අෂාන්ගේ කඩුල්ලද සමගිනි. ඔහුට අනගි සහායක් දුන් කරීම් ජානට් ලකුණු 31 කට කඩුලු 2 ක් දවාගත්තේය. කෙසේ වුවත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුන් දෙදෙනා අසමත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන නැඟී එන කණ්ඩායම ඕවර 47.5 අවසානයේ ලකුණු 210 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙණිය සහ කමිඳු මෙන්ඩිස් කඩුලු 3 බැගින් දවාගනිමින් ඇෆ්ගනිස්තාන ඉනිම සුනුවිසුණු කර දැමූහ.
මුලු ලකුණු සංඛ්‍යාව 16 ක් වන විට ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නන් යුගලය වූ අසිත ප්‍රනාන්දු සහ ජෙහාන් ඩැනියෙල් සමත් වූහ. එහිදී ඉසනුල්ලා ජානට් මෙන්ම ඊබ්‍රහිම් සද්රාන්ද දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක සඳුන් වීරක්කොඩි අතට පහසු උඩපන්දු ලබා දෙමිනි.
කෙසේ වුවත් තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 110 කදී ලකුණු 84 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කරීම් ජානට් (68) සහ ශහිදුල්ලා කාමල් (38) ඇෆ්ගනිස්තාන ඉනිමට නව ජවයක් එක් කළහ. පන්දු 99 කට මුහුණදුන් ජානට් හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය අලංකාර කළ අතර පන්දු 54 කදී වාර්තා වූ කාමල්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.
ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ අවිෂ්ක ප්‍රනාන්දු අතට උඩ පන්දුවක් දෙමින් කාමල් දැවී යෑමත් සමග ඇෆ්ගනිස්තාන ඉනිමේ තෙවැනි කඩුල්ලේ සම්බන්ධාතාව නිමාවට පත් විය. ඉන් නොනැවතුණ ඇඹුල්දෙණිය, පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි නසීර් ජමාල්ගේ ඉනිමද ලකුණු 12 කට සීමා කළේ ලකුණු 124 කට කඩුලු 4 ක් ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම අසීරු තත්වයකට ඇද දමමිනි.
ඇෆ්ගනිස්තාන නැඟී එන කණ්ඩායමේ නායකත්වය දරන, ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායමද නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන නජිබුල්ලා සද්රාන්ට මෙම තරගයේදී වැඩියමක් කිරීමට නොහැකි විය. ෂෙහාන් මධුෂංකගේ පන්දුවක් හමුවේ කමිඳු මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 6 කට මුහුණදී සිටි ඔහු ලබා සිටියේ ලකුණු 2 ක් පමණි.
තරමක් වේගයෙන් පන්දුවට පහරදුන් රාමනුල්ලා ගුර්බාස් පන්දු 26 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 31 ක් රැස්කළ අතර ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ ගැසු පහරකින් ඇදීගිය පන්දුව ෂෙහාන් මධුෂංකගේ දෑත් අතර සිරවීමත් සමග ඔහුගේ ඉනිම නිමාවට පත්විය.
ඇෆ්ගනිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කරීම් ජානට්ගේ කඩුල්ල බිඳදැමු කමිඳු මෙන්ඩිස්, ඉන් අනතුරුව අස්මතුල්ලා ඔමර්සායි දවාගත්තේ තමාගේ පන්දුවක් හමුවේ තමා අතටම පැමිණි උඩ පන්දුවක් රැකගනිමිනි. නායක සම්මු අශාන්ගේ සහායද ඇතිව, අවසන් පිතිකරුවා වූ ෆසාල් හක් පිටියෙන් ඉවත් කළ මෙන්ඩිස් ඇෆ්ගනිස්තාන ඉනිම ලකුණු 210 කට සීමා කළේය.
ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.