Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක්

ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අභියෝගත්මක ඉලක්කයක් කරා සාර්ථකව ගිය ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී කඩුලු 3 ක ජයක් අත්කරගත්තේය. තරගයේ අවසන් දිනය වූ අද (සෙනසුරාදා) තේ පානයෙන් පසුව ඕස්ට්‍රේලියානු ඉනිමේ අවසන් කඩුලු දෙකත් දවාගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඕවර 19.4 කදී ජයග්‍රහණය සඳහා කඩුලු 7 ක් දැවී ලකුණු 114 ක් ලබාගත්හ. 


ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් වේගයෙන් ලකුණු ලබාගැනීමට යාමේදී ලකුණු 48 කට කඩුලු 4 ක් දැවී ගිය නමුත් නායක නිපුන් ධනංජය (35) සහ චමිඳු විජේසිංහ (29) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් යොවුන් පිල ජයග්‍රහණයේ මාවතට කැඳවාගෙන ආහ. 


ඕස්ට්‍රේලියානු යොවුන් පිලේ දෙවැනි ඉනිම ලකුණු 151 කට සීමා කිරීමේදී දඟ පන්දු යවන්නන් වන රොහාන් සංජය (37/4) සහ සඳුන් මෙන්ඩිස් (56/4) විශාල වැඩ කොටසක් කළහ. තේ පානය වන විට ඕස්ට්‍රේලියානු යොවුන් පිලේ දෙවැනි ඉනිමේදී කඩුලු 8 ක් ලකුණු 143 කට බිඳ වැටී තිබිණ. තේ පානයෙන් පසුව ඉක්මනින්ම අවසන් පිතිකරුවන් දෙදෙනා ආපසු ක්‍රීඩාගාරයට යැවූ සංජය සහ මෙන්ඩිස් දෙදෙනා සිය පිතිකරුවන්ට ඉලක්කය කරා යාමට ඇති තරම් කාලය ඉතිරිකර දුන්හ. 


අද පෙරවරුවේදී සිය පළමු ඉනිම ලකුණු 309 දී නතර කළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ලකුණු 40 ක මුල් ඉනිමේ වාසියක් අත්කර ගත්හ. අනතුරුව දිවා ආහාරයට පෙර ලකුණු 20 ක් තුළදී සංචාරකයන්ගේ කඩුලු 4 ක් බිම දැමූ රොහාන් සංජය, සඳුන් මෙන්ඩිස් සහ චමිඳු විජේසිංහ කල්වේලා ඇතිවම තරගයේ වාසිය තමන් වෙත ඇදගත්හ. 


දිවා ආහාරයෙන් පසුව සුළු වේලාවකදී තවත් පිතිකරුවන් තිදෙනකු දැවී ගිය නමුත් අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ජරාඞ් ෆ්‍රීමන් (නොදැවී 50) සහ තන්වීර් සංගා (25) ඕස්ට්‍රේලියානු යොවුන් පිල පරාජයෙන් අවදානමෙන් ඈතට ඇදගෙන ගියහ. එහෙත් තේ පානයට පෙර යැවුණු අවසන් පන්දුවේදී සංගාගේ ඉනිම නිමා කළ සොනාල් දිනූෂ ශ්‍රී ලංකා යොවුන් පිල නැවතත් තරගයට කැඳවාගෙන ආවේය. 


 

 

ඡායාරූප - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිලට කඩුලු 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.