Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවෙයි

ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවෙයි

Nisanka Sandeepani - 2018 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මූලික වටයෙන්ම ඉවතට වීසිවිය. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද (19 වැනිදා) නවසීලන්තයේ වැන්ගරෙයිහිදී පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේදී හිමිවූ කඩුලු 3 ක පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් පිලට තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයෙන් ඉවත් වීමට සිදුවිය.

‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා යොවුන් පිල අයර්ලන්තයට එරෙහිව පැවැති තරගය ජයගත් නමුත් ඇෆ්ඝනිස්තානය සහ පාකිස්තානය හමුවේ පරාජය විය. අද පැවැති තරගයෙන් ජයගන්නා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම විය. ඇෆ්ඝනිස්තානය ඒ වන විටත් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන සිටියේය. 

ලකුණු 189 ක පහසු ඉලක්කයක් කරා යමින් සිටි පාකිස්තානු යොවුන් පිල වරෙක කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 118 ක් ලබාගනිමින් ඉතාමත් ස්ථාවර ස්ථානයක සිටියේය. එසේ වුවත් ලකුණු 47 ක් ඇතුළත කඩුලු 5 ක් බිඳ දැමූ ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ නැවතත් තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළහ.

තත්ත්වය එසේ තිබියදී 8 වැනි කඩුල්ල වෙනුවෙන් අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ නායක හසන් ඛාන් (නොදැවී 24) සහ මොහොමඞ් මූසා (නොදැවී 23) ශ්‍රී ලංකා යොවුන් පිලේ බලාපොරොත්තු සුන්කර දැමූහ. 

කාසියේ වාසිය අහිමි වීම හේතුවෙන් පළමුවෙන්ම පන්දුවට පහර දීමට සිදුවූ ශ්‍රී ලංකා යොවුන් පිල ලකුණු 75 ක් රැස්කරගැනීමටත් පෙර ඉදිරිපෙළ පිතිකරුවන් පස්දෙනාම අහිමි විය. එතැන් සිට ශ්‍රී ලංකා යොවුන් පිල ගියේ අසීරු ගමනකි. 

ජෙහාන් ඩැනියෙල් අෂේන් බණ්ඩාර එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ඩැනියෙල් දැවී යාමත් සමගින් ඉතිරි කඩුලු 4 ත් ලකුණු 40 කට බිඳ වැටිණ. තරගාවලියේ උසම ක්‍රීඩකයා වන ෂහීන් අෆ්රීඩිට කදිම සහයක් දුන් මොහොමඞ් මූසා සහ අර්ෂාඞ් ඉක්බාල් ශ්‍රී ලංකා යොවුන් පිලේ ඉනිම ලකුණු 188 කට සීමා කළහ. 

පන්දු 70 කින් ලකුණු 53 ක් ලබාගත් ජෙහාන් ඩැනියෙල්ගේ දැවීයාම බෙහෙවින් තීරණාත්මක විය. ඊළඟ ඕවරයේදී අෂේන් බණ්ඩාරත් දැවීයාම නිසා එක්වරම නවක පිතිකරුවෝ දෙදෙනෙක් පිටියට පිවිසියහ. ඕවර 11 ක් ඉතිරිව තිබියදී ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 7 කට 152 ක් ලෙසිනි. තත්ත්වය එසේ තිබියදී පිතිකරුවන් සිරකර දැමූ පාකිස්තානු යොවුන් පන්දු යවන්නෝ ශ්‍රී ලංකා යොවුන් පිලේ අවසන් ඕවර 11 දී ලකුණු සංඛ්‍යාව 36 කට සීමාකර දැමූහ. 

තරගය ජයගැනීමට තරම් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් පුවරුවේ නැති බව ශ්‍රී ලාංකිකයෝ හොඳින්ම දැන සිටියහ. ඔවුන්ට තිබුණේ වේලාසනින් කඩුලු දවාගැනීමේ විකල්පය පමණි. වේග පන්දු යවන්නන්ගේ සාර්ථක ආරම්භයක් ලැබුණ නමුත් අලී සර්යාබ් පාකිස්තානු පිලට අවශ්‍ය ස්ථාවරත්වය ගෙන ආවේය. පන්දු 94 කට මුහුණ දුන් සර්යාබ් සහ මොහොමඞ් තාහා එක්ව ගොඩනැංවූ ලකුණු 61 ක සම්බන්ධතාව හේතුවෙන් පීඩනය ඉවත් විය. 

එතැන් සිට ප්‍රවේසම් සහගත ගමනක නිරත වූ පාකිස්තානු යොවුන් පිතිකරුවෝ ප්‍රවේසමෙන් තමන්ගේ ඉලක්කය කරා ගියහ. ජයග්‍රහණය පෙනෙන මායිමට පැමිණීමෙන් පසුව හයේ පහර දෙකකින් සහ හතරේ පහරක්ද සමගින් පන්දු 18 කදී ලකුණු 23 ක් ලබාගත් මොහොමඞ් මූසා ආපසු ක්‍රීඩාගාරයට ගියේ සිය කණ්ඩායම ජයටැඹ කරා ගෙන යාමෙන් පසුවය. 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.