Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාවට ලකුණු 199 ක දැවැන්ත ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 199 ක දැවැන්ත ජයක්

ශනුක අරවින්ද - 2018 ජුලි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


තරගාවලියේ අවසානය පෙනි පෙනී තිබියදීත් තමන්ගේ ගෞරවය වෙනුවෙන් සටන් වැදුණු නමුත් කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් පරාජයෙන් ගැලවීමට දකුණු අප්‍රිකානුවන්ට නොහැකි විය. මෙම තරගයේදී ලකුණු 199 ක දැවැන්ත ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 2-0 කින් ජයගත්තේය.

ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදීත් ලකුණු 278 ක ජයක් අත්කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියකදී දකුණු අප්‍රිකාව පරදවා ජයගත්තේ වසර 12 කට පසුවය. මෙම තරගාවලිය ජයගැනීම නිසා අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේදී ප්‍රසාද ලකුණු 6 ක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. මේ වන විට ශ්‍රී ලංකාව සහ එංගලන්තය ශ්‍රේණිගත ලයිස්තුවේදී ප්‍රසාද ලකුණු 97 ක් බැගින් ලබා සිටියද දශම සංඛ්‍යාව අනුව එංගලන්තයට පස්වැනි ස්ථානයත් ශ්‍රී ලංකාවට 6 වැනි ස්ථානයත් හිමිව තිබේ.

සිවුවැනි ඉනිමේදී ලකුණු 490 ක් රැස්කිරීමේ අභියෝගයට මුහුණ දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගයේ සිවුවැනි දිනය වූ අද (23 වැනිදා) ලකුණු 290 කට දැවී ගියේය. තියුනිස් ඩි බෘයින් ශතකයක් ලබාගත් නමුත් ඒ වන විටත් දකුණු අප්‍රිකානුවෝ පරාජයේ අගාධයේ ගොඩගත නොහැකි ඉසව්වකට වැටී සිටියහ.

තුන්වැනි දිනය අවසානයේ නොදැවී සිටි පිතිකරුවන් වූ තියුනිස් ඩි බෘයින් සහ ටෙම්බා බවුමා (63) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 123 සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය එන්න එන්නම ප්‍රමාද කරමින් සිටියහ. එහෙත් දිවා ආහාරයට විනාඩි 10 ක් තිබියදී පන්දුව අතට ගත් රංගන හේරත් පන්දු 10 ක් තුළ ටෙම්බා බවුමා සහ ක්වින්ටින් ඩි කොක් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යවමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය ආසන්නයට කැඳවා ගත්තේය.

දිවා ආහාරයෙන් පසුව තරගය පැවැතියේ ඕවර 11 ක් පමණි. ශතක ලාභියා සම්පූර්ණයෙන්ම මුළා කරමින් ඔහුගේ පිට ඉන්න ගලවා දැමූ රංගන හේරත් 34 වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවාගත්තේය. ඒ සමගම ජයග්‍රහණයේ දොරටු විවර විය. ශතක ලාභියාගේ දැවී යාමත් ශ්‍රී ලංකා ජයග්‍රහණයත් අතර පරතරය විනාඩි 5 ක් නොහොත් ඕවර 2 කි.

ඊයේ සවස ක්‍රීඩාව නතර කරන විට ලකුණු 139 කට කඩුලු 5 ක් අහිමි කරගෙන සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම  ජයග්‍රහණයේ සියලු බලාපොරොත්තු අතහැර සිටියේය. එසේ වුවත් අද පෙරවරුවේදී පිතිහරඹය ආරම්භ කළ තියුනිස් ඩි බෘයින් සහ ටෙම්බා බවුමා ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙහෙසට පත්කරමින් පළමු හෝරාවේදී සිය කඩුලු ආරක්‍ෂාක කරගත්හ. මේ දෙදෙනා එක්ව දිවා ආහාරය දක්වාම කඩුලු රැකගන්නා ආකාරයක් පෙන්වූ බැවින් සුරංග ලක්මාල්ට විකල්ප සෙවීමට පවා සිදුවිය. එහෙත් 74 වැනි ඕවරයේදී පන්දුව ඉල්ලාගත් රංගන හේරත් දකුණු අප්‍රිකනු පිතිකරුවන්ගේ අරමුණට හරස් විය.

රංගනගේ අතින් මිදී, බවුමාගේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව ඉතා පහතින් ඇදී එද්දී නිරෝෂන් දික්වැල්ල එය රැකගැනීමත්  සමගින් හයවැනි කඩුල්ල බිම වැටිණ. කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය ක්වින්ටින් ඩි කොක් විතීවි සහාය ඉල්ලා සිටි නමුත් විනිසුරුවරයාගේ තීරණය අවසාන තීරණයම විය.

මෙම තරගාවලියේදී දකුණු අප්‍රිකානු පිල වෙනුවෙන් එකම ශතකය ලබාගත් තියුනිස් ඩි බෘයින් විනාඩි 288 ක් කඩුල්ල රැකගනිමින් පන්දු 232 කට මුහුණ දුන් අතර ඔහුගේ ඉනිම හතරේ පහර 12 කින් සමන්විත විය.

ඉනිමකදී ලකුණු 118.66 සාමාන්‍යයක් රඳවාගනිමින් ඉනිම හතරකදී ලකුණු 356 ක් ලබාගත් දිමුත් කරුණාත්න තරගයේ වීරයා මෙන්ම එස්.එස්.සී. තරගයේත් වීරයා විය. තමන්ගේ ක්‍රීඩා සමාජ පිටිය වන එස්.එස්.සී. පිටියේදී ලකුණු 53 ක් සහ 85 ක් ලබාගත් කරුණාරත්නගේ පිතිහරඹය හේතුවෙන් දකුණු අප්‍රිකානුවන් කල්තබාම පීඩනයට නතු කිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය.

ශ්‍රී ලංකාවේ එකම වේග පන්දු යවන්නා වූ නායක සුරංග ලක්මාල් තරගාවලිය පුරාම යැව්වේ ඕවර 6.3 ක් පමණි. දකුණු අප්‍රිකානු පිලේ බිඳ වැටුණු කඩුලු 40 න් කඩුලු 37 ක් දඟ පන්දු යවන්නන් සතු විය.

 

ඡායාරූප - චතුර එස්. කොඩිකාර


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 199 ක දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.