Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ශ්‍රී ලංකාවේ ජය පාකිස්තානය උදුරාගනී

ශ්‍රී ලංකාවේ ජය පාකිස්තානය උදුරාගනී

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකාව සතුව තිබූ ජයග්‍රහණය අවසන් මොහොතේදී උදුරාගත් පාකිස්තාන ක්‍රීඩකයෝ අබුඩාබිහිදී අද (27 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 2 ක ජයක් හිමිකරගැනීමට සමත් වූහ. ඒ අනුව තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට පාකිස්තානය සමත් විය.

ජයග්‍රහණය සදහා ලකුණු 125 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන ක්‍රීඩකයෝ පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 8 ක් දැවී තරගයේ ජය තමන් සතුකර ගත්හ. ජයග්‍රහණය සදහා පාකිස්තානයට අවසන් ඕවරයේදී ලකුණු 12 ක් ලබාගැනීමට සිදු වූ අතර විකුම් සංජය යැවූ එම ඕවරයේ පළමු පන්දුවේදීම ධනුෂ්ක ගුණතිලක අතට උඩ පන්දුවක් දෙමින් ෆහීම් අෂ්රාෆ් දැවී ගියේය.

එහෙත් තෙවැනි පන්දුවේදී හසන් අලී දුන් උඩ පන්දුව ධනුෂ්ක ගුණතිලක අතින් ගිලිහියාම හේතුවෙන් ලකුණු 3 ක් ලබාගැනීමට පාකිස්තාන පිතිකරුවන් සමත් වීම තරගයේ තීරණාත්මකම සිදුවීම බවට පත්විය. ඉන් අනතුරුව ජයග්‍රහණය සදහා පාකිස්තානයට අවසන් පන්දු 3 දී ලකුණ 8 ක් ලබාගැනීමට අවශ්‍යව තිබූ අතර සිවුවැනි පන්දුවේදී ලකුණු 6 ක් ලබාගත් ශදාබ් ඛාන්, පස්වැනි පන්දුවේදී ලකුණු 2 ක් කරා දිවයමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පළමු කඩුලු 4 ලකුණු 55 ක් තුළ දවාගනිමින් පාකිස්තාන කණ්ඩායම දැඩි පීඩනයකට පත් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුවද, පස්වැනි කඩුල්ල සදහා පන්දු 35 කදී ලකුණු 39 ක සම්බන්ධතාවයක් පවත්වමින් සිය කණ්ඩායම ඉලක්කය කරා කණ්ඩායම රැගෙන යාමට මොහොමඞ් හෆීස් (14) සහ සර්ෆ්‍රාස් අහ්මඞ් (28) සමත් වූහ.

නායකත්වයේ වගකීම මනාව ඉටුකරමින් පන්දු යැවූ තිසර පෙරේරාගේ තෙවැනි කඩුල්ල ලෙස ඉමාඞ් වසීම් දැවීයන විට පාකිස්තාන ලකුණු පුවරුව කඩුලු 6 කට ලකුණු 100 ක් ලෙස සටහන් විය.ලකුණු පුවරුවට තවත් ලකුණු 4 ක් එක්වන විට හත්වැනි කඩුල්ල ලෙස නායක සර්ෆ්‍රාස් අහ්මඞ් දුවද්දි දවාගැනීමට හසුකර ගැනීමට ධනුෂ්ක ගුණතිලක සහ සධීර සමරවික්‍රම සමත් වූහ.

ලකුණු 13 ක් තුළ කඩුලු 8 ක් බිඳ වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාව කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 124 ක් පමණි. ධනුෂ්ක ගුණතිලක සමග එක්ව පළමු කඩුල්ල සදහා පන්දු 40 කදී ලකුණු 43 ක සම්බන්ධතාවයක් පැවැත් වූ ඩිල්ෂාන් මුණවීර ලකුණු 19 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවියාමකට හසු විය.

සධීර සමරවික්‍රම සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 58 කදී ලකුණු 63 ක සම්බන්ධයක් පැවැත් වූ ධනුෂ්ක ගුණතිලක, පන්දු 46 කදී සිය මංගල විස්සයි20 අර්ධ ශතකය වාර්තා කළේය. පන්දු 48 කට මුහුණදුන් ගුණතිලක දැවියන විට හයේ පහරක් සහ හතරේ පහර හතරක් සමගින් ලකුණු 51 ක් රැස්කර සිටි අතර සධීර සමරවික්‍රම පන්දු 31 කදී ලකුණු 32 ක් රැස් කළේය.

ශඩාබ් ඛාන් විසින් යවන ලද ශ්‍රී ලංකා ඉනිමේ 17 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී සධීර සමරවික්‍රම දැවීයන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 2 කට ලකුණු 106 ක් ලෙස සටහන් විය. එහෙත් සධීර දැවී ගිය ඕවරයේම පස්වැනි පන්දුවේදී ධනුෂ්ක ගුණතිලක දැවීයාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු බිඳ වැටීම ආරම්භ විය. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 8 පන්දු 17 කදී ලකුණු 13 ක් තුළ දැවියාම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා ඉනිමේ 19 වැනි ඕවරයේ අවසන් පන්දු තුනේදී පිට පිට කඩුලු 3 ක් දවාගනිමින් පාකිස්තානය වෙනුවෙන් විස්සයි20 තරගයකදී කඩුලු ත්‍රිත්වයක් දවාගත් පළමු පන්දු යවන්නා බවට පත්වෙමින් වාර්තා අතරට එක්වීමට ෆහීම් අෂ්රාෆ් සමත් විය. ඉසුරු උදාන, මහේල උඩවත්ත සහ දසුන් ශානක දවාගනිමින් ඔහු එම වාර්තාවට හිමිකම් කීවේය.

 

 


අදහස් (1)

ශ්‍රී ලංකාවේ ජය පාකිස්තානය උදුරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.