Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සකිබ් - නුරුල් හසන් දෙදෙනාටම දඩ

සකිබ් - නුරුල් හසන් දෙදෙනාටම දඩ

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (16 වැනිදා) පැවැති නිදහස් කුසලාන තරගයේ අවසන් ඕවරයේදී නොමනා ලෙසින් හැසිරීම හේතුවෙන් බංග්ලාදේශ නායක සකිබ් අල් හසන්ට සහ අතිරේක ක්‍රීඩක නුරුල් හසන්ට ඔවුන්ගේ තරග මුදලින් 25% ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතා තීරණය කරතිබේ. ඊට අමතරව මෙම ක්‍රීඩකයන් දෙදෙනාටම අගති ලකුණක් බැගින්ද නියම කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පනවන ලද ක්‍රීඩක විනය නීතිමාලාවේ පළමු වැනි තලයේ වරදක් හේතුවෙන් ක්‍රීඩකයන් දෙදෙනාටම මෙම අගති ලකුණු පනවා තිබේ. වසර 2016 සැප්තැම්බර් මස 22 වැනිදා මෙම අගති ලකුණු ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව මෙම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් කවරෙකු හෝ අගති ලකුණු වලට මුහුණ දුන් පළමු වැනි වතාව මෙයයි.

ක්‍රීඩකයන්ට මෙන්ම කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලය සඳහා පනවා ඇති විනය නීති මාලාව අනුව “ක්‍රීඩාවේ යහගුණය බිඳවැටෙන පරිදි හැසිරීම” වෙනුවෙන් සකිබ් අල් හසන්ට දඩ සහ අගති ලකුණු නියම කර තිබේ.

තරගයේ අවසන් ඕවරයේදී නිපන්දුවක් සම්බන්ධයෙන් ඇතිවූ මතහේදයක් හේතුවෙන් ක්‍රීඩාගාරයෙන් ඉවතට පැමිණි සකිබ් අල් හසන් හතරේ සීමාව ආසන්නයට ගොස් තමන්ගේ ක්‍රීඩකයන්ට තරගයෙන් ඉවත්ව එන ලෙස සංඥා කළේ විනිසුරු තීරණයකට විරෝධය දක්වමිනි.

තරගයේ අවසන් ඕවරයේදී මුස්ටෆිසුර් රෙහෙමාන් පන්දු යවන්නාගේ අන්තයේදී දුවද්දී දැවී ගිය නමුත් සකිබ් අල් හසන් කියා සිටියේ මුස්ටෆිසුර් දැවීයාමට පෙර මුහුණ දුන් පන්දුව නිපන්දුවක් ලෙස නම්කළ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් විනිසුරුවරයාගේ තීරණයට විරෝධය දක්වමින් ඔහු තම ක්‍රීඩකයන්ට පිටතට එන්න’යි සංඥා කළේය.

නිදහස් කුසලාන තරගාවලිය සඳහා පළමුවෙන්ම නම් කරන ලද සංචිතයේ නායකයාව සිටි සකිබ් අල් හසන්ගේ ඇඟිල්ලක ඇතිවූ ආබාධයක් හේතුවෙන් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණිය නොහැකි විය. ඒ හේතුවෙන් මහමදුල්ලා බංග්ලාදේශ පිලේ නායකත්වය බාරගත් අතර සකිබ් අල් හසන්ගේ ස්ථානයට ලිටන් දාස් පැමිණියේය. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සිකුරාදා පැවැති තරගය අතිශයින් තීරණාත්මක වූ බැවින් මෙම තරගය සඳහාම නායක සකිබ් අල් හසන් බංග්ලාදේශයේ සිට පැමිණියේය.

නුරුල් හසන් අගති ලකුණු වලට මෙන්ම දඩයකට මුහුණ දුන්නේ පිටියට පැමිණ ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා සමග වාද කරමින් ඔහුට බැණවැදුණ බැවිනි. විනය නීති මාලාව අනුව එය “ක්‍රිකට් ක්‍රීඩාව අයසට ඇද දැමීමක්” විය. අතිරේක ක්‍රීඩකයකු වූ නුරුල් හසන් පිටියට යැවුණේ පිටිය මැද සිටි මහමදුල්ලාට සහ රුබෙල් හොසේන්ට පණිවුඩය දීමට මිස ශ්‍රී ලංකා නායකයා සමග වාද කිරීමට නොවේ. හසන්ගේ ක්‍රියාව ප්‍රසිද්ධියේම නොමනා හැසිරීමක් විය.

කෙසේ වෙතත් අද (සෙනසුරාදා) උදෑසන පැවැති විනය පරීක්‍ෂණයේදී සකිබ් අල් හසන් මෙන්ම නුරුල් හසන්ද තමන්ගේ වැරදි පිළිගත් අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක ක්‍රිස් බ්‍රෝඞ් මහතාගෙන් තමන්ට ලැබුණු දඩ සහ අගති ලකුණුද බාරගත්හ.

එංගලන්ත ටෙස්ට් පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු මෙන්ම වත්මන් එංගලන්ත ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පියාද වන ක්‍රිස් බ්‍රෝඞ් මහතා සිය තීරණය නිවේදනය කරමින් කළ ප්‍රකාශය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාධ්‍ය නිවේදනයක සටහන් වන්නේ පහත ආකාරයෙනි.

“සිකුරාදා සිද්ධිය ඉතාම නින්දිතයි. ඒ වගේ හැසිරීමක් කිසිම ආකාරයේ ක්‍රිකට් තරගයකදී බලාපොරොත්තු වෙන්න බෑ....එතැන කිසියම් උණුසුම් තත්ත්වයක් තිබුණ බව ඇත්ත. අවසන් තරගය පෙනි පෙනී තිබියදී එවන් තත්ත්වයක් ඇතිවීම ස්වභාවික බව මා එය පිළිගන්නවා. ඒත් ක්‍රීඩකයන් දෙදෙනාගේ ක්‍රියාකලාපය කොහොමටවත් අනුමත කරන්න බෑ. ඔවුන් දෙන්නාම සීමාවෙන් එපිටට ගියා”

“සකිබ් සහ පන්දු රකින්නන් අතර පැවැති විරෝධය සිවුවැනි විනිසුරුවරයා නතර නොකළානම්, නුරුල් හසන් සහ තිසර පෙරේරා අතර පැවැති වාදයට පිටිය මැද සිටි විනිසුරුවරුන් දෙදෙනා මැදිහත් නොවුණානම්, තත්ත්වය හුඟාක් බරපතළ වෙන්න තිබුණා” යයිද බ්‍රෝඞ් මහතා පැවසීය.

මෙම තරගයේ ප්‍රධාන විනිසුරුවරුන් ලෙස රවීන්ද්‍ර විමලසිරි සහ රුචිර පල්ලියගුරුගේ යන මහත්වරු කටයුතු කළහ. තරගයේ තුන්වැනි විනිසුරුවරයා ලෙස රැන්මෝ මාටිනස් මහතාද, සිවුවැනි විනිසුරු ලෙස ලින්ඩන් හැනිබල් මහතාද කටයුතු කළහ.

 


අදහස් (0)

සකිබ් - නුරුල් හසන් දෙදෙනාටම දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.