Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සසායිගෙන් ඕවරයකදී හයේ පහර 6 ක්

සසායිගෙන් ඕවරයකදී හයේ පහර 6 ක්

Nisanka Sandeepani - 2018 ඔක් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඇෆ්ගනිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියේ බල්ඛා ලෙජන්ඞ්ස් කණ්ඩායමට එරෙහිව සාජාහිදී පැවැති තරගයක ඕවරයක් තුළ හයේ පහර 6 ක් ගැසීමට කාබුල් ස්වානන් කණ්ඩායමේ හස්රතුල්ලා සසායි සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 245 ක ඉලක්කයක් හඹාගිය කාබුල් ස්වානන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සසායි, සිවුවැනි ඕවරයේදී දඟ පන්දු යවන ක්‍රීඩක අබ්දුල්ලා මසාරිට එරෙහිව මෙම ප්‍රහාරය එල්ල කළේය. 

එම හයේ පහර 6 න් පස්වැනි හයේ පහර ගැසීමත් සමග පන්දු 12 කදී සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමටද සසායිට හැකි විය. පළමු සහ දෙවැනි පන්දුවලට සසායි හයේ පහර 2 කින් සංග්‍රහ කළ අතර මසාරි යැවූ තෙවැනි පන්දුව වයිඞ් පන්දුවක් විය. කෙසේ වුවත් ඉන් අනතුරුව යැවූ පන්දු 4 ටම හයේ පහර ගැසූ සසායි, ඕවරයක් තුළ හයේ පහර 6 ක් ගැසූ පිතිකරුවන් අතලොස්ස අතරට එකතු විය. 

මින් පෙර ශ්‍රීමත් ගැරී සෝබස්, රවී ශ්‍රාස්ත්‍රි, හර්ෂල් ගිබ්ස්, යුවරාජ් සිං සහ රෝස් වයිට්ලි යන ක්‍රීඩකයන් විවිධ ආකාරයන්ගේ තරගවලදී ඕවරයක් තුළ හයේ පහර 6 ක් ගැසූ ක්‍රීඩකයන් ගොන්නට ඇතුළත්ව සිටියහ. 

“ගේල් වගේ විශිෂ්ට ක්‍රීඩකයෙක් ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩා කරද්දි මේ වගේ දක්ෂතාවක් දක්වන්න පුලුවන් වේවි කියලා මම හිතුවේ නැහැ. මට අවශ්‍ය වුණේ මගේ ස්භාවික ක්‍රීඩා විලාශයේ නිරත වෙන්න විතරයි. වෙනත් කෙනෙකුට වඩා කැපී පෙනෙන්න මට අවශ්‍ය වුණේ නැහැ.” යැයි තරගයෙන් අනතුරුව සසායි පැවසීය. 
ලොව වේගවත්ම විස්සයි20 අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමටද මෙම තරගයේදී සසායි සමත් වූ අතර මින් පෙර ක්‍රිස් ගේල් සහ යුවරාජ් සිං පන්දු 12 කදී අර්ධ ශතක ලබමින් එම වාර්තාවට හිමිකම් කියා තිබිණ. 

එම තරගයේදී පන්දු 17 කට මුහුණදුන් සසායි, දැවී යන විට හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 62 ක් ලබා සිටියේය. කෙසේ වුවත් මෙම තරගයෙන් සසායිගේ කාබුල් ස්වානන් කණ්ඩායම ලකුණු 21 ක පරාජයක් ලැබීය. 

-036 


අදහස් (0)

සසායිගෙන් ඕවරයකදී හයේ පහර 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.