Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ස්ථාවරත්වයත් චපලත්වයත් අතර ගැටුමක්

ස්ථාවරත්වයත් චපලත්වයත් අතර ගැටුමක්

Nisanka Sandeepani - 2017 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අනාවැකි පළ කිරිමට අතිශයින්ම දුෂ්කර පාකිස්තානයට එරෙහිව එංගලන්තයේ කාඩිෆ් නුවර අද පැවත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී සත්කාරක එංගලන්තය හදවතින්ම තරග කරනු ඇතැයි විචාරකයෝ කියති. පාකිස්තානුවන්ගේ අපේක්ෂාව වී ඇත්තේ පෙරේදා මේ පිටියේදීම ශ්‍රී ලංකා පිල පරාජය කිරීමට ලැබුණු වාසනාවේ ඉතිරි කොටස උරගා බැලීමටය. එංගලන්තය සාරවත් දිනුම්වලින් මූලික වටය පෝෂණය කරගනිද්දී  පාකිස්තානය ඒවා දිනුවේ ගොත ගසමිනි. 

එංගලන්තය වැනි ප්‍රතිවාදීන්ගේ දස්කම් මෙන්ම දුර්වලතා ද මැනවින් ග්‍රහණය කරගන්නා කණ්ඩායමක් පරාජය කිරිමට හැකියාව ඇත්තේ ද පාකිස්තානය වැනි අස්ථීර කණ්ඩායමකට පමණක් බවටත් කියැවේ. නැතිවෙන්න දෙයක් නැති බව කියමින් මෙවර ශුරයන්ගේ කුසලාන තරගාවලියට පැමිණ, පරාජය පෙනි පෙනී තරග 2ක් ජයගෙන අවසන් පූර්ව වටයට එක්වූ පාකිස්තානයට එරෙහිව සත්කාරකයන් ක්‍රීඩා කරන්නේ ආගන්තුකයන්ගේ මේ චපල ගතිය නිසා ඇතිකරගත් චකිතයක්  ද සමගිනි.  

එංගලන්තයත්, පාකිස්තානයත් අවසන් පූර්ව වටයට සේන්දු වූයේ එකිනෙකට වෙනස් අයුරින් දෙවිදිහක ගතිලක්ෂණ පෙන්නුම් කරමිනි. එංගලන්තය මූලික වටයේ සහභාගි වූ තරග තුනම ජයගනිමින් මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්වූ අතර පාකිස්තානය සිය පළමු තරගයෙන් ඉන්දියාව හමුවේ පරාජය වීමෙන් පසුව වික්කල් ගසමින් ඉතා අසීරුවෙන් දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව පරාජය කරමින් අවසන් හතරට රිංගා ගත්තේ සෙසු කණ්ඩායම් මවිතයට පත් කරමිනි. 

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇතැයි තරගාවලිය ආරම්භ කිරිමටත් පෙර පළවූ බොහෝ විශාරදයන්ගේ අනාවැකි අතර පාකිස්තානය කොහෙත්ම සිටියේ නැත. අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල 8 වැන්නා ලෙස අලවාගත් ලේබලයත් සමග පාකිස්තානුවෝ එංගලන්තයට ගොඩ බසිද්දී මෙතරම් දුරක් පැමිණෙනු ඇති බවක් කිසිවකු සිතුවේද නැත. 

ඉන්දියාව සමඟ පැවැති පළමු තරගයේදී පිත්තෙන්, පන්දුවෙන් මෙන්ම පන්දු රැකීමෙන් ද අන්තිම දුර්වලකම් පෙන්වූ පාකිස්තානුවෝ හිටි හැටියේම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී නැගී සිටියහ. වාසනාවත් කරපින්නා ගෙන ඔවුන් තරගය ජයගත්තේ ඩක්වර්ත් ලුවිස් ක්‍රමයටය. 

මේ වාසනාව තව දුරටත් පාකිස්තානුවන්ගේ හිසට ඉහළින් කැරකෙන්නට වූ අතර ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ජය අත්කර ගත්තේ තරගය ජයග්‍රහණය දක්වා ඇදගෙන ගිය නායක සර්ෆ්‍රාස්  විසින් ලසිත් මාලිංගගේ පන්දුවලට දෙන ලද පහසු උඩපන්දු දෙකක් ශ්‍රී ලංකා පිලේ පන්දු රකින්නන් විසින් අතහරිනු ලැබීම නිසාය. 
‘අපි එදා තරගය දිනුවේ කැත විදිහටයි. ඒක තමයි ඇත්ත..‘ පාකිස්තානු පිලේ පුහුණුකරු මිකී ආතර් තවමත් කියයි. 

එබැවින් මේ දෙපිල අතර අසමානකම් බොහෝය. ඒ කොයි හැටි වෙතත් අද තරගය අහිමි කරගැනීමට නම් එංගලන්තය කොහෙත්ම සුදානම් නැත. ඔවුන් මේ  තරගාවලියට පැමිණියේ දකුණු අප්‍රිකාවත් 2-1 කින් පරාජය කරමිනි. 

ඔව්හු මූලික වටයේදී සෑම තරගයක්ම ජයගත්හ. සිය රටෙහි ක්‍රීඩාලෝලීන් අතර අති විශාල කීර්තියක් ද අත්පත් කරගත්හ. එහෙත් පාකිස්තානය අරභයා සත්කාරකයන්ට ඇති එකම දෙගිඩියාව තරගයකදී ආසියාතිකයන් දක්වන චපලත්වයයි. 

අවසන් වතාවට එංගලන්තයට පැමිණි මොහොතේ පාකිස්තානුවන් තරග 3-1 කින් පරාජය කිරීමට එංගලන්තය සමත්වූවත් අද තරගය පැවැත්වෙන කාඩිෆ් පිටියේදී එවර දෙපිල අතර පැවැති සිවුවැනි හා අවසන් එක්දින තරගය පාකිස්තානුවෝ කඩුලු 4කින් ජයගත්හ. 

කවුරුත් බලා සිටින්නේ තරගාවලිය පුරාම අසාර්ථක වූ එංගලන්ත පිලේ ආරම්භක පිතිකරු ජේසන් රෝයිට අද තරගයේදිත් ඔයින් මෝගන් කාරුණික වේදැයි කියාය. එසේ වුවත් ඔහු අතහැර ජොනී බෙයාර්ස්ටෝව් තරගයට එක් කිරීමේ සූදානමක් ඇති බවටත් වාර්තා වෙයි. 

මේ දෙපිල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ ප්‍රධානතම තරගාවලියක එළියට විසිවෙන වටයක ගැටෙන දෙවැනි අවස්ථාව මෙය වෙයි. මීට පෙර දෙපිල අතර එවැනි ගැටුමක් සිදුවූයේ මීට වසර 25කට පෙර එනම් 1992 ලෝක කුසලාන අවසන් මහා තරගයේදීය. 

අද මෙන් අස්ථීර බවක් පෙන්නුම් නොකළ, ඉම්රාන් ඛාන්ගේ නායකත්වය යටතේ තරග වැදුණු පාකිස්තානුවන් අන්තිමේදී එංගලන්තය පරදවා එක් දින ලෝක කුසලානය ගෙදර ගෙන ගියහ. 

 

 

- 077


අදහස් (0)

ස්ථාවරත්වයත් චපලත්වයත් අතර ගැටුමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.