Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ස්මිත්ට තරගයක් තහනම්

ස්මිත්ට තරගයක් තහනම්

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කහ පැහැති ඇලෙන සුළු පටියකින් පන්දුව පළුදු කිරීමට ගත් උත්සාහය නිසා ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට්ට ඔහුගේ තරග මුදලින් 75% ක දඩයක් නියම කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන ඇත.

පන්දුව පළුදු කළේ කැමරන් වූවද ඔහුට උපදෙස් දෙමින් පන්දුව පළුදු කිරීමේ ‘මගඩියේ’ මහමොළකරු වූ ඕස්ටේ්‍රලියානු නායක ස්ටීවන් ස්මිත්ට ටෙස්ට් තරගයක් තහනම් කර තිබෙන අතර ඔහුගේ තරග මුදල එහෙම පිටින්ම ( 100% ) දඩ වශයෙන් නියම කර තිබේ.

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන් නුවරදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයේදී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කිරීමට ගත් උත්සාහය වීඩියෝ පටිගත වී තිබිණ. සිය නායකයාගේ උපදෙස් මත කළ නොමනා ක්‍රියාව හේතුවෙන් බැන්ක්‍රොෆ්ට අගති ලකුණු 3 ක් ද නියම කර තිබිණ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් වගකීම බාරගනිමින් ස්ටීවන් ස්මිත් ඕස්ට්‍රේලියානු නායකත්වයෙන්ද ඉල්ලා අස්විය. ඕස්ට්‍රේලියානු නායකයා පසුව අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කරන රාජස්තාන් රෝයල්ස් පිලේ නායකත්වයෙන්ද ඉල්ලා අස්විය.

“ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ තීරණයක් අනුව මෙවන් දේකට සම්බන්ධ වීම ක්‍රිකට් ක්‍රීඩාවේ සාරධර්ම වලට අතිශයින් පටහැණි ක්‍රියාවකි. එය ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම ක්‍රීඩකයන්ගේත් අවංකභාවය සම්බන්ධයෙන් නිර්මාණය කරන්නේ විශාල ප්‍රශ්නාර්ථයකි. නායකයකු වශයෙන් ස්ටීවන් ස්මිත් තමන්ගේ ක්‍රීඩකයන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව පූර්ණ වගකීම බාරගත යුතුව තිබේ. එබැවින් ඔහු තහනමකට ලක්කිරීම ඉතාමත් සාධාරණයි” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා පැවසීය.

“ක්‍රීඩාව සම්බන්ධයෙන් දැඩි නිරීක්‍ෂණයක් අවශ්‍යයි. පසුගිය සති කිහිපයේදී අපි අශෝභන සිදුවීම් කිහිපයක්ම දැක්කා.....වාචික හිරිහැර, පිටියන් ඉවත්වෙන්න’යි සරදම්, විනිසුරු තීරණ වලට විරෝධය දැක්වීම්, පිටියෙන් ඉවතට යාම් වගේම හතරේ සීමාවෙන් එපිට ඉතා දුර්වල මට්ටමේ හැසිරීම් රැසක්ම අපි දැක්කා. මේවාට තදබල පියවර ගන්න සිදුවෙනවා” යයිද ඬේවිඞ් රිචඞ්සන් මහතා පැවසීය.

“ජයග්‍රහණය වැදගත් තමයි..ඒත් ක්‍රීඩාවේ සාරධර්ම විනාශ කරගෙන නෙමේ. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජික රටවල් තම තමන්ගේ ක්‍රීඩකයන් ගැන මීට වඩා වගකිය යුතුයි” යයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙම තරගයේ තීරකවරයා ලෙසින් කටයුතු කළ සිම්බාබ්වේ පිලේ හිටපු නායකයකු වන ඇන්ඩි පයික්‍රොෆ්ට් මහතා පැවසූවේ තරගයෙන් වාසි ලබාගැනීමේ අරමුණ ඇතිව පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා බාහිර යමක් හතරේ සීමාවෙන් ඇතුළට ගෙනයාම නීතියට පටහැණිවූවක් පමණක් නොව, ක්‍රිකට් ක්‍රීඩාවේ සාරධර්මවලටද පටහැණිව යාමක් බවයි.

“කැමරන් (බැන්ක්‍රොෆ්ට්) එයාගේ ක්‍රියාව සම්බන්ධයෙන් වගකීම බාරගෙන තියෙනවා විතරක් නෙමේ ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාවත් ඉල්ලා තියෙනවා. අන්තර්ජාතික තරග බිමට පිවිසෙන තරුණ ක්‍රීඩකයෙක් හැටියට ඔහු මේ සිද්ධියෙන් පාඩමක් ඉගෙනගන්නවාට අමතරව ඔහුගේ ඉදිරි තරග දිවිය හැඩගස්වාගැනීමටත් එයින් විශාල රුකුලක් ලැබේවි” යයිද පයික්‍රොෆ්ට් මහතා පැවසීය.

 


අදහස් (0)

ස්මිත්ට තරගයක් තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.