Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැති 90 වැනි ‘සුලෝහිත සංග්‍රාම’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (03) විසඳුමකින් තොරව අවසන් විය. තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද තරගය අවසන් වන විට නාලන්දා විදුහල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු පහක් දැවී ලකුණු 216 ක් රැස්කර සිටියේය.
නාලන්දා විදුහල් පිලේ නායක ලක්‍ෂිත රසාංජන පන්දු 103 කදී හතරේ පහර නවයක් සහ හයේ පහරක් සමගින් ලකුණු 86 ක් ලබා දැවී යෑමත් සමඟ තරගය අවසන් කළේය. ලක්‍ෂිත රසාංජන සහ චමිඳු විජේසිංහ තෙවැනි කඩුල්ලට ලකුණු 109 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. චමිඳු විජේසිංහ වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 63 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 64 ක් රැස්කළේය.
ආනන්ද විදුහල් පිල පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 232 ක් රැස්කළ අතර ඒ අනුව නාලන්දා විදුහල පළමු ඉනිමේ ලකුණු 37 ක වාසියක් ලැබීය.
පළමු දිනය අවසන් වීමට ආසන්නව තිබියදී දෙවැනි ස්ලිප් ක්‍රීඩකයාට දුන් උඩ පන්දුව ගිලිහී යෑමේ වාසිය මැනවින් ප්‍රයෝජනයට ගත් මෝදිත රණතුංග අන්තයක් ආරක්‍ෂාකරගනිමින් ආනන්ද විදුහල් ගෞරවය රැකගැනීමට පෙරමුණ ගත්තේය. ශ්‍රී ලංකාවේ නමගිය ක්‍රිකට් පවුලක් වන ‘රණතුංග’ පවුලේ සාමාජිකයකු- වන මෝදිත පන්දු 108 කදී හතරේ පහර අටක් සමගින් ලකුණු 64 ක් රැස්කිරීමට සමත් විය.
මෝදිත එක් අන්තයක රැකගනිමින් කළන විජේසිරි (39) සමඟ හයවැනි කඩුල්ලට ලකුණු 63 ක සම්බන්ධතාවක් ද, ජනිඳු ජයවර්ධන (නොදැවී 63) සමඟ හත්වැනි කඩුල්ලට ලකුණු 84 ක සම්බන්ධතාවක් ද, පැවැත්වීය. ජනිඳු ජයවර්ධන පන්දු 103 කදී හතරේ පහර අටක් සමගින් නොදැවී ලකුණු 63 ක් රැස්කිරීමට සමත් විය.
නාලන්දා විදුහල් පිලේ පන්දු රැකීම මීට වඩා ඉහළ තත්ත්වයක තිබුණේ නම් තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස්වීමට ඉඩ තිබුණි.
තරගයේ පළමු දිනය වූ පෙරේදා (02) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට ආනන්ද විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හතරක් දැවී ලකුණු 52 ක් ලබා අසීරු තත්ත්වයක පසුවිය. ඒ වන විට ආනන්ද විදුහල කඩුලු හයක් අතැතිව ලකුණු 217 ක් පසු පසින් සිටියේය.
එහිදී ආනන්ද විදුහල් ප්‍රබලතම පිතිකරු, හිටපු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ගේ බාල සොයුරු, නායක කමේෂ් නිර්මාල් ලකුණු 5 කට දැවී යෑම දැඩි පාඩුවක් බවට පත්විය. පළමුව පන්දුවට පහර දුන් නාලන්දා විදුහල කඩුලු හතක් දැවී ලකුණු 269 ක් ලබා ඉනිම අත්හිටුවීය.
නාලන්දා විදුහල් ආරම්භක පිතිකරු උප නායක අවිෂ්ක පෙරේරා අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 134 කින් හතරේ පහර 17 ක් සමගින් ලකුණු 120 ක් රැස්කිරීමට සමත් විය.
නාලන්දා විදුහලේ අවිෂ්ක පෙරේරා තරගයේ වීරයා සහ දක්‍ෂතම පිතිකරු ලෙස ද, දිනෙත් සමරවීර දක්‍ෂතම පන්දු යවන්නා ලෙස ද, සම්මාන ලැබූහ. ආනන්ද විදුහලේ කමේෂ් නිර්මාල් දක්‍ෂතම පන්දු රකින්නා සම්මාන ලැබීය.
නාලන්දා විදුහල පළමු ඉනිම ඕවර 72.1 කදී කඩුලු 7 ට 269
(අවිෂ්ක පෙරේරා 120, දිල්හාර පොල්ගම්පොළ 22, රනිඳු ද සිල්වා 16, ලක්‍ෂිත රසාංජන 16, චමිඳු විජේසිංහ 27, රවීන් ද සිල්වා 36, මහීම වීරකෝන් 15, චාමික ගුණසේකර 46/2, සවිරු බණ්ඩාර 66/2)
ආනන්ද විදුහල පළමු ඉනිම ඕවර 60.2 කදී සියලු දෙනා දැවී 232
(දමින්ද රිෂාන් 17, මෝදිත රණතුංග 64, කළන විජේසිරි 39, ජනිඳු ජයවර්ධන නොදැවී 63, දිනෙත් සමරවීර 63/4, චමිඳු විජේසිංහ 58/3)
නාලන්දා විදුහල දෙවැනි ඉනිම ඕවර 41.2 කදී කඩුලු 5 ට 216
(දිල්හාර පොල්ගම්පොළ 16, අවිෂ්ක පෙරේරා 20, ලක්‍ෂිත රසාංජන 86, චමිඳු විජේසිංහ 64, මෝක්‍ෂ සංකල්ප 20)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.