Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner සොනාල් දිනූෂගෙන් ශතකයක්

සොනාල් දිනූෂගෙන් ශතකයක්

Nisanka Sandeepani - 2018 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ පීඩන හමුවේ සාර්ථක පිහිහරඹයක නිරත වෙමින් ශතකයක් (100) ලබාගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ සොනාල් දිනූෂ සමත්විය. එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (18) පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 288 ක් රැස්කිරීමට සමත්වුවද බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 21 ක් පසුපසින් සිටින්නේය.

මිනිත්තු 315 ක කාලයක් කඩුල්ලේ රැඳී සිටි සොනාල් දිනූෂ පන්දු 202 කදී හතරේ පහර 5 ක් සිය ඉනිමට එක්කරගත් අතර ඊට ලකුණු 2 බැගින් ලබාගත් අවස්ථා 14 ක් සහ ලකුණු 3 බැගින් ලබාගත් අවස්ථා 2 ක් ද ඇතුළත් විය. රකිබුල් හසන්ගේ පන්දුවක් හමුවේ ස්විප් පහරක් ගැසීමට යාමෙන් ඉහළ නැගි පන්දුව ශොරිෆුල් ඉස්ලාම් රැකගැනීමත් සමගින් සොනාල් දිනූෂගේ ඉනිම අවසන් විය.

බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ දැඩි පීඩනය යටතේ පන්දුවට පහරදුන් සොනාල් දිනූෂ සිවුවැනි කඩුල්ල සඳහා මොහොමඞ් ශමාස් සමගින් එක්ව ලකුණු 90 ක සම්බන්ධතාවයක්ද, අටවැනි කඩුල්ල සඳහා අශේන් ඩැනියල් සමගින් එක්ව තවත් ලකුණු 41 ක සම්බන්ධතාවයක්ද පවත්වමින් කඩාවැටුණු ශ්‍රී ලංකා යොවුන් ඉනිම ගොඩනැගීය.

ශහීම් අලාම් යැවූ පන්දුවට ගැසූ පහරකින් ඉහළ නැගි පන්දුව පන්දු යවන්නා විසින්ම රැකගැනීමත් සමගින් මොහොමඞ් ශමාස්ගේ ඉනිම ලකුණු 31 කට අවසන් විය. පන්දු 123 කට පහරදෙමින් කඩුල්ලේ රැඳී සිටි ශමාස්ගේ ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් විය.

බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ ස්ථාවර වීමට අවස්ථාවක් හිමිනොවූ ජනිෂ්ක පෙරේරා (14), සඳුන් මෙන්ඩිස් (14) සහ චමිඳු විජේසිංහට (8) පිටියෙන් ඉවත්වීමට සිදුවූහ.

උදෑසන තරගය ආරම්භවී සුළු මොහොතකින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක නිපුන් ධනංජය සහ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ස්ථාවර වීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට දක්ෂ පන්දු යැවීමක නිරතවූ බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ නායක තව්හිඞ් රිඩෝයී සමත්විය.

කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවූ නිපුන් ධනංජය ලකුණු 11 කට දැවී ගිය අතර නවෝද් පරණවිතාන ලකුණු 40 ක් රැස්කර සිටියදී තව්හිඞ් රිඩෝයීගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

තව්හිඞ් රිඩෝයී සහ රකිබුල් හසන් කඩුලු 3 බැගින්ද ශහින් අලාම් සහ ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2 බැගින්ද දවාගනිමින් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 21 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම තෙවැනි දිනයට අද තරගය අවසන් කරනවිට ලකුණු 18 කට කඩුල්ලක් අහිමිකරගෙන සිටියේය.

හෙට තරගයේ සිවුවැනි සහ අවසන් දිනයයි.

 


අදහස් (0)

සොනාල් දිනූෂගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.