Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner හයිද්‍රාබාද් පිල සිවුවැනි ජය ලබයි

හයිද්‍රාබාද් පිල සිවුවැනි ජය ලබයි

ශනුක අරවින්ද - 2019 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය පි‍්‍රමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ (2019) 33 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (17) රාත‍්‍රී පැවැති තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් ක‍්‍රීඩකයෝ කඩුලූ හයකින් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරාජය කිරීමට සමත් වූහ. 

මෙය සන්රයිසස් හයිද්‍රාබාද් පිල තරග අටකදී ලැබූ සිව්වැනි ජය වේ. ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටින චෙන්නායි පිල තරග නවයකදී ලැබූ දෙවැනි පරාජය මෙය වේ. 

හයිද්‍රාබාද් පිල ලකුණු 133 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 16.5 කදී කඩුලූ හතරක් පමණක් දැවී සම්පූර්ණ කළේය.

ජොනි බෙයාස්ටෝ අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 44 කින් හතරේ පහර තුනක් සහ හයේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 61 ක් රැස්කළේය. 

ඬේවිඞ් වෝනර් පන්දු 25 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත් විය. 

හයිද්‍රාබාද් පිලේ ආරම්භක පිතිකරුවන් වූ ඬේවිඞ් වෝනර් සහ ජොනි බෙයාස්ටෝ පන්දු 34 කින් ලකුණු 66 ක වේගවත් සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය පහසු කළහ. 

පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිල ලකුණු 80 සිට ලකුණු 100 දක්වා ලකුණු 20 රැස්කිරීමට පන්දු 26 ක් වැය කිරීමත්, මැද පෙළ පිතිකරුවන් අසාර්ථක වීමත් නිසා පහසුවෙන් ලකුණු 175 ක් හෝ ඊට වැඩියෙන් රැස්කිරීමට තිබූ අවස්ථාව මඟ හැරුණි. 

චෙන්නායි පිල පළමු  ඕවර 10 අවසන් වන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 80 ක් ලබා සිටිය ද අවසන්  ඕවර 10 ට ලකුණු 52 ක් පමණක් ලබාගත්තේය. 

ඇෆ්ගනිස්තානු දඟ පන්දු යවන ක‍්‍රීඩක රෂීඞ් ඛාන් පන්දු යැවීම ආරම්භ කිරීමත් සමඟ ලකුණු වේගය අඩාල විය. රෂීඞ් ඛාන්  ඕවර හතරේදී ලකුණු 17 කට කඩුලූ දෙකක් දවාගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වීම චෙන්නායි පසුබෑමට හේතු බවට විය.  

සුරේෂ් රයිනා ලකුණු 13 ක් ලබා තෙවැනි කඩුල්ල ලෙස දැවී යෑම චෙන්නායි පිලට දැඩි පාඩුවක් බවට පත්විය. 

ෂේන් වොට්සන් පන්දු 29 කින් ලකුණු 31 ක් රැස්කර සිටියදී දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. 

ෆෆ් ඩූ ප්ලීසිස් පන්දු 30 කදී ලකුණු 45 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. ප්ලීසිස්ගේ ඉනිමට හතරේ සහ හයේ පහර තුන බැගින් අන්තර්ගත විය.  

චෙන්නායි පිලේ ආරම්භක පිතිකරුවන් වූ ෂේන් වොට්සන් සහ ෆෆ් ඩූ ප්ලීසිස් යුගළ පන්දු 59 කින් ලකුණු 79 සම්බන්ධතාවක් පවත්වමින් ප‍්‍රබල තත්ත්වයකට රැුගෙන ආව ද සෙසු පිතිකරුවෝ එය රැකගැනීමට අසමත් වූහ. 

චෙන්නායි පිලේ තාවකාලික නායක සුරේෂ් රයිනා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. 

චෙන්නායි පිලේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනි ආබාධයක් හේතුවෙන් විවේක ගෙන සිටි අතර එංගලන්ත ක‍්‍රීඩක සෑම් බිලින්ස් කඩුලූ රකින්නා ලෙස කටයුතු කළේය. 

මහේන්ද්‍ර සිං දෝනි 2010 වසරෙන් පසුව පළමු වරට අයි.පී.එල්. තරගයකින් ඉවත්ව සිටීම කැපී පෙනුණි. 

 

චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 132
(ෂේන් වොට්සන් 31, ෆෆ් ඩූ ප්ලීසිස් 45, අම්බාටි රයිදු නොදැවී 25, රෂීඞ් ඛාන් 17/2)

සන්රයිසස් හයිද්‍රාබාද් පිල  ඕවර 16.5 කදී කඩුලූ 4 ට 137
(ඬේවිඞ් වෝනර් 50,  ජොනි බෙයාස්ටෝ නොදැවී 61, ඉම්රාන් තාහිර් 20/2)

-048


අදහස් (0)

හයිද්‍රාබාද් පිල සිවුවැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.