Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ හොඳම පාසල් ක්‍රිකට් සංවිධානය ශ්‍රී ලංකාවේ තිබුණත්, හොඳම අය එහි පරිපාලනයේ සිටියත්, අවශ්‍ය ප්‍රතිඵලය මෙතෙක් ශ්‍රී ලංකාවට ලැබී නතැයිද, ශ්‍රී ලංකාව තවමත් 19 න් පහළ ලෝක කුසලානය දිනා නැතැයිද තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පවසයි. සන්ඬේ ටයිම්ස් - ඩයලොග් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩක සම්මාන ප්‍රදානෝත්සවයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් ලැබ්රෝයි මහතා ඒ බව කියා සිටියේය.
උත්සවසභාව අමතා කළ කතාවේදී ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ මෙන්ම 19 න් පහළ වයස් කාණ්ඩයේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේත් සැඟවුණු කරුණු කිහිපයක් ගෙනහැර දක්වමින් අදහස් දැක්වූ තේරීම් කමිටු සභාපතිවරයා ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියේ වසර 2020 දී වත් 19 න් පහළ ලෝක කුසලානය දිනාගැනීම සඳහා ඒකරාශී වන ලෙසයි.
ග්‍රැහැම් ලැබ්රෝයි මහතාගේ කතාව සම්පූර්ණයෙන්ම පහත දැක්වේ.
වසර 1983 දී මේ සම්මානය දිනාගත් අයෙක් වශයෙන් මේ උත්සවසභාව ඇමතීමට මට අවස්ථාව ලැබීම ඇත්තටම භාග්‍යයක්. මේ වෙලාවේ මගේ මතකය බොහෝ ඈතට දිව යනවා. ඒ මේ සම්මානය දිනාගත් දවස දක්වාම. ඒ සම්මානය මට විශාල ශක්තියක් වුණා. එදා ඉඳන් අද වෙනකම් මේ ආ ගමනේදී ඒ ශක්තිය මට අත්වැලක් වුණා. ඒක මට වගේම 1996 දී ලෝක කුසලාන දිනාගත් ක්‍රීඩකයන්ටත් විශාල ශක්තියක් වුණ බවට සැකයක් නෑ.
මේ ආරාධනාවත් එක්කම මට තවත් ආරාධනාවක් කළා. ඒ තමයි මෙතන පුංචි කතාවක් කරන්න කියන එක. මම මෙතන කියන සමහර ඒවා හොඳ වෙන්නත් පුළුවන්. ඇතැම් අයගේ නොමනාපයට හේතු වෙන්නත් පුළුවන්.....ඒ දෙකින් කෝක උණත් මට මේ ටික කියන්නම වෙනවා.
ඩයලොග් - සන්ඬේ ටයිම්ස් පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානයේදී වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වූ ගාල්ල රිච්මන්ඞ් විදුහලේ කමිඳු මෙන්ඩිස් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ග්‍රැහැම් ලැබ්රෝයි මහතා අතින් සිය සම්මානය ලබා ගත් අවස්ථාව. කමිඳු මෙන්ඩිස් වසරේ දක්ෂතම පාසල් පිතිකරුවා මෙන්ම දක්ෂතම පන්දු රකින්නා ලෙසද සම්මාන දිනාගත්තේය. |
ඩයලොග් - සන්ඬේ ටයිම්ස් පාසල් ක්‍රිකට් සම්මාන ප්‍රදානයේදී වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අනු ශූරතාව හිමිකර ගත් මොරටුව වේල්ස්කුමර විදුහලේ සවිඳු පීරිස් ඩයලොග් ආසියාටා සමාගමේ සාමාන්‍යාධිකාරි සහ ව්‍යාපාර ප්‍රධානී (ජංගම දුරකතන) තිසර කස්තුරිආරච්චි මහතා අතින් සිය සම්මානය ලබාගත් අවස්ථාව. සවිඳු පීරිස් වසරේ වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානය මෙන්ම දක්ෂතම දක්ෂතම පන්දු යවන්නා අනු ශූරතාවද හිමකර ගත්තේය. |
මේ සන්ධ්‍යාවේදී මම එක ප්‍රශ්නයකින් පටන් ගන්නම්. මොකද මේ ප්‍රශ්නය වෙනත් අය මගෙන් නිතරම අහන නිසා. ඒ ප්‍රශ්නය තමයි 19 න් පහළ ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමට එකතු වෙන්න මෙච්චර කාලයක් ගන්නේ මොකද කියන එක.
ඒත් ඇත්තම කියනවා නම් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ බොහෝ දැනුම තියන අයත් මේ ප්‍රශ්නය අහන්නේ මොකද කියන එකනම් මා දන්නවා. ඒකට හේතුව තමයි ඔවුන් බොහෝ දෙනා මනසින් 80 ගණන් වලටත් 90 දශකයේ මුලටත් ගමන් කිරීම. ඒ කාලයේදී බොහෝ 19 න් පහළ ක්‍රීඩකයන් පාසලෙන් ඉවත් වෙලා අවුරුදු දෙක තුනකින් කිසිම අපහසුතාවක් නැතිවම ජාතික කණ්ඩායමට ඇතුළත් වුණා.
එක අතකට 80 ගණන් වලදීත් 90 ගණන්වල මුල හරියේදීත් අපි ඉතාමත් වාසනාවන්ත වුණා. මොකද එදා ක්‍රිකට් ක්‍රීඩාවට අද වගේ ස්ථාවර සැලැස්මක් තිබුණේ නෑ. ඒත් අද වෙනකොට මේ ක්‍රීඩාවට ආසියාවේ බොහෝ රටවල වගේම ලෝකයේ අනෙකුත් රටවල පවා ඉතාමත් ශක්තිමත් සැකිල්ලක් තියෙනවා. ඒ සැකිල්ලත් එක්ක තමයි ‘ඒ’ කණ්ඩායම් සංකල්පය සහ නැගී එන කණ්ඩායම් සංකල්පය ඉදිරියට ආවේ.
‘ඒ’ කණ්ඩායම් සංකල්පය නිසා අද වෙනකොට 19 න් පහළ ක්‍රීඩකයකුට බොහෝ අවස්ථා තියෙනවා තමන්ගේ හැකියාවන් පෙන්වන්නට. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන සෑම රටකම ‘ඒ’ කණ්ඩායම් තියෙනවා. මේ කියන ‘ඒ’ කණ්ඩායම් අතරේ සිවුදින (පළමු පෙළ) තරග වගේම එක්දින තරගත් පැවැත්වෙනවා. ඒ එක්කම මා විශ්වාස කරනවා ඉදිරියේදී ඔවුන් විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවටත් පිවිසේවි කියා.
මේක තමයි 19 න් පහළ ක්‍රීඩකයාට තියෙන අවස්ථාව. පළමුව නැගී එන කණ්ඩායමටත් ඉන් පස්සේ ‘ඒ’ කණ්ඩායමටත් ඇතුළත් වෙන්න ඔවුන්ට පුළුවන්. පසුගිය දශක දෙකක් පමණ කාලයේදී මේ සංචිත පවත්වාගෙන ගියා. මේ වගේ ස්ථාවර සැකිල්ලක් හැදිලා තියෙන්නේ ශ්‍රී ලංකාවෙත් අනෙකුත් රටවලත් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු තත්ත්වයකට ඇවිත් තියෙන නිසා. ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයකුට අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයෙක් තරමට දියුණු වෙන්න හොඳ අවස්ථාවක් ලැබී තියෙනවා.
වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වූ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ විහන් ගුණසේකර විජය නෙට්වර්ක් ආයතනයේ අධ්‍යක්‍ෂ උදේශ් ගුණතුංග මහතා අතින් සිය සම්මානය ලබාගත් අවස්ථාව |
පිටම දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාවේ පාසල් අතර දක්‍ෂතම පන්දු යවන්නා වූ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහලේ හරීන් බුද්ධිල ඩයලොග් - සන්ඬේ ටයිම්ස් සම්මාන තේරීම් කමිටුවේ සභාපති ජයන්ත සෙනෙවිරත්න මහතා අතින් සිය සම්මානය ලබාගත් අවස්ථාව. |
වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් කණ්ඩායම වූ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම. සාන්ත තෝමස් විදුහලේ නායකයා වූ ඩෙලන් පීරිස් වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් නායකයා මෙන්ම වසරේ ජනප්‍රියම (සමස්ත ලංකා) පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අනු ශූරතාව සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා අනු ශූරතාවද හිමිකරගත්තේය. |
මේ සැලැස්ම නිසා 19 න් පහළ ක්‍රීඩකයෙක් අන්තර්ජාතික මට්ටම දක්වා එන්න තරමක කාලයක් ගන්නවා.
අපි 80 ගණන් දිහා ආපසු හැරිලා බැලුවොත් අවුරුද්දකට සෙල්ලම් කරන්නේ තරගාවලි 3 ක් විතර. ඒ කාලයේදී තවත් ටෙස්ට් රටක් අත්දෙක දිග හැරලා අපිව පිළිගන්නකම් අපට බලා ඉන්න වුණා. ඒත් ඒ වගේ තත්ත්වයකදී ඕස්ට්‍රේලියාව අපට බොහෝ උදව් කළා. ඔවුන් දිගින් දිගටම ටෙස්ට් තරග දෙක තුනකට අපට ආරාධනා කළා.
(වසර 1982 දී ටෙස්ට් වරම් හිමිකරගත් ශ්‍රී ලංකාවට එංගලන්තය සමග තරග 3 ක ටෙස්ට් තරගාවලියක් සඳහා වසර 18 ක් බලා සිටීමට සිදුවිය. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වීම සඳහා වසර 11 ක් බලා සිටීමට සිදුවිය. එහෙත් 1988 සහ 1992 අතර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටේස්ට් තරග 6 ක් පැවැත්විණ. එයින් තරග 3 ක්ම ඕස්ටේ්‍රලියාවේදී පැවැත්විණ)
ඒ කාලයේදී දිගින් දිගටම ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්, මා කියන්නේ විවේකයකින් තොරවම ක්‍රීඩා කළ අයෙක්, අවුරුද්දකට එක්දින තරග 15 ක් විතර ක්‍රීඩා කළා. ටෙස්ට් තරග 3 ක් හෝ 4 ක් ක්‍රීඩා කළා. ඒත් මිත්‍රවරුනි, වර්තමානය ගැන අපි විග්‍රහ කළොත්, පසුගිය අවුරුදු පහේදී සාමාන්‍ය වශයෙන් අපි අවුරුද්දකට එක්දින තරග 40 ක් විතර ක්‍රීඩා කරලා තියෙනවා. ටෙස්ට් තරගත් අවුරුද්දක් ඇතුළත 13 ක් හෝ 17 ක් ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි 19 න් පහළ ක්‍රීඩකයන්ට තියෙන අවස්ථාව. ඒක තමයි ඔවුන්ට තියෙන්න ඕන උනන්දුව. නැත්නම් උද්යෝගය.
පසුගිය 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම තෝරගන්න අපට ලැබුණේ මාසයක විතර කාලයක්. කනිෂ්ඨ තේරීම් නිලධාරීන් එක්ක තමයි අපි කණ්ඩායම තේරුවේ. ඊට පස්සේ මටත් අවස්ථාව ලැබුණා සති දෙකක විතර කාලයක් කණ්ඩායමත් එක්ක නවසීලන්තයේ ගතකරන්න. ඒක ටිකක් වෙනස් ආකාරයේ අත්දැකීමක්.
මොකද පසුගිය 19 න් පහළ ලෝක කුසලාන තරගාවලි දෙකේදීම (2014 සහ 2016) මම එතැන හිටියේ තරග තීරකවරයෙක් හැටියට. ඒත් මේ වතාවේදී මම තේරීම් කමිටු නිලධාරියෙක්. ඒ නිසා මට වෙනත් කෝණයකින් දේවල් දිහා බලන්න ලැබුණා. ක්‍රීඩකයන්ගේ විවේකාගාරය ඇතුළතදී වගේම එයින් පිටත සිදුවන දේ ගැනත් අවබෝධයක් ලැබුණා.
එතැනදී අපි, ඒ කියන්නේ මාත් කණ්ඩායමේ උපකාරක නිලධාරීන් සියලු දෙනාත්, වටහාගත් ප්‍රධානතම දේ තමයි 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් තිබෙන සූදානම මදියි කියන එක.
අපි හැමෝම දන්නා එක්දින ලෝක කුසලාන තරගාවලිය වගේ නෙමෙයි, 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය වසර දෙකකට වරක් පැවැත්වෙනවා. ඒ නිසා මේ තරගාවලියට සූදානම් වෙන්න පුහුණුකරුවාටත් සහායක කාර්ය මණ්ඩලයටත් ලැබෙන්නේ මාස 18 ක විතර කාලයක්.
එංගලන්ත කණ්ඩායම තෝරා ගන්නේ ඔවුන්ගේ 17 න් පහළ කණ්ඩායමයි. ඒ කණ්ඩායම තෝරගෙන, හොඳන් සූදානම් කරලා, හරියට වෙලාව ආවම 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියට එවනවා. ඕස්ට්‍රේලියාව කරන්නේ ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා කරයි කියන අය අනෙක් අයත් එක්ක එකට මිශ්‍ර කරලා ලෝක කුසලාන කණ්ඩායම සූදානම් කරන එකයි. දකුණු අප්‍රිකාව කරන්නෙත් ඒකමයි. ඒ නිසා තමයි ඔවුන් 19 න් පහළ ලෝක කුසලාන තරග වලදී සාර්ථක වෙන්නේ.
වසරේ නැගී එන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සහ දක්ෂතම පිතිකරුවා බවට පත් වූ රත්ගම දේවපතිරාජ විදුහලේ රවීන් යසස් විජය නෙට්වර්ක් ආයතනයේ අධ්‍යක්‍ෂ උදේශ් ගුණතුංග මහතා අතින් සිය සම්මානය ලබාගත් අවස්ථාව. |
වසරේ නැගී එන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අනු ශූරතාව, දක්ෂතම පිතිකරුවා අනු ශූරතාව සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා අනු ශූරතාව දිනාගත් කුරුණෑගල ශාන්ත ආනා විදුහලේ රන්දීර රණසිංහ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ග්‍රැහැම් ලැබ්රෝයි මහතා අතින් සිය සම්මානය ලබා ගත් අවස්ථාව. |
වසරේ ජනප්‍රියම නැගී එන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වූ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලේ විහන් ගුණසේකර විජය පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී (සන්නාම සහ ප්‍රවර්ධන) සුජිත් පතිරැන්නැහැ මහතා අතින් සිය සම්මානය ලබා ගත් අවස්ථාව. ඩයලොග් ආසියාටා සමාගමේ සාමාන්‍යාධිකාරී (මාධ්‍ය සහ සන්නාම) හර්ෂ සමරනායක මහතාද ඡායාරූපයේ සිටියි. |
වසරේ ජනප්‍රියම නැගී එන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා අනු ශූරතාව දිනාගත් රත්නපුර ශාන්ත ඇලවීෂියස් විදුහලේ කෙනුල ගුණරත්න විජය පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී (සන්නාම සහ ප්‍රවර්ධන) සුජිත් පතිරැන්නැහැ මහතා අතින් සිය සම්මානය ලබා ගත් අවස්ථාව. ඩයලොග් ආසියාටා සමාගමේ සාමාන්‍යාධිකාරී (මාධ්‍ය සහ සන්නාම) හර්ෂ සමරනායක මහතාද ඡායාරූපයේ සිටියි. |
උදාහරණයක් මම කියන්නම්. වසර එකහමාරකට විතර උඩදී අපේ 19 න් පහළ කණ්ඩායම එංගලන්තයේ සංචාරය කළා. සිව්දින තරගාවලිය වගේම එක්දින තරගාවලියත් ඉතාම පහසුවෙන් දිනුවා. ඒත් පස්සේ තමයි අපි දැනගත්තේ ඒ ළමයි සේරම 17 න් පහළ අය කියලා. ලෝක කුසලාන තරගාවලියෙදි වුණේ මොකක්ද ?
එංගලන්තයේදී සිද්ධ වුණ එකේ සම්පූර්ණ අනෙක් පැත්ත.
ඉතින් තේරීම් කමිටු නිලධාරීන් වශයෙන් අපට මේ ගැන හිතන්න වෙනවා. එතැනදී පාසල් ක්‍රිකට් සංගමයේ සහයෝගයත් අපට ඕනෑ වෙනවා. විදුහල්පතිවරුන්, කණ්ඩායම් බාර ගුරු භවතුන්ගේ වගේම පුහුණුකරුවන්ගේ සහයෝගයත් අපට ඕනෑ වෙනවා.
සමහර දේවල් තියෙනවා අතහැරලා දාන එක හොඳයි.
ඒත් විශේෂයෙන්ම මෙතන ඉන්න විදුහල්පතිවරුන්ගෙන් මා ඉල්ලා සිටින්න කැමතියි ඔබේ දරුවන් සියලු දෙනාම මොකක් හෝ ක්‍රීඩාවක නිරත වෙන්න උනන්දු කරවන්න කියලා. මොකද ඔවුන්ගේ තරගකාරිත්වය වර්ධනය කරගත යුතු නිසා. ක්‍රිකට් ක්‍රීඩාවේදී විතරක් නෙමේ. අනෙක් ක්‍රීඩාවලදී වුණත් තත්ත්වය ඒකයි. ඔවුන් තැනකට එන්නේ අත්දැකීමෙන්. ඒ වගේම ඔවුන්ගේ ශාරීරික ශක්තියත් එයින් වර්ධනය වෙනවා.
අසූ ගණන් වල හෝ අනූ ගණන් වල හිටපු ක්‍රීඩකයන් බොහෝ දෙනකුගෙන් ඇහැව්වොත් කියාවි ඔවුන් පාසල් වියේදී ක්‍රීඩා දෙක තුනකට නැත්නම් හතරකට සම්බන්ධ වුණා කියලා. ඒත් ඒ සියලු දෙනාටම තම තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගන්න වගේම ඒ ඒ ක්‍රීඩාවල හොඳ දස්කම් පෙන්වන්නත් ඕනෑ තරම් කාලය තිබුණා.
මේ සියලු දෙනා සම්බන්ධකරන දැතිරෝදය තමයි ක්‍රීඩාභාර ගුරුමහතා. ඔහු තමයි ක්‍රීඩකයා, පුහුණුකරුවා, විදුහල්පතිතුමා යන මේ සියල්ලම එකට ඇමිණෙන රෝදය. ඔවුන්ගේ වගකීම තමයි මේ ක්‍රීඩකයන් ආරක්‍ෂා කරගැනීම. පරෙස්සම් කරගැනීම. ශාරීරිකව විතරක් නෙමේ. මානසිකව වුණත් මේ ක්‍රීඩකයන්ව රැකගන්න ඕනා.
ඔවුන් ක්‍රීඩකයන්ගේ පසුබිම දන්නවා. ඒ නිසා ක්‍රීඩකයන් මානසිකව සූදානමින් තබාගන්න දෙමාපියන් එක්ක සම්බන්ධතාව තියාගන්න පුළුවන්.
පුහුණුකරුවන්ට තියෙන්නේ ඊටත් වඩා අමාරු කාර්යයක්. ඔවුන් වැඩ කරන්නේ පීඩනයක් යටතේ. ඒත් තමන්ගෙන් බලාපොරොත්තු වන දේ ගෙනල්ලා දෙන්න ඕනේ. තරගාවලිය පුරාම ඒ තත්ත්වය තියෙනවා. අවාසනාවකට වගේ අද වෙනකොට හැම පුහුණුකරුවකුටම ඕනෑ වෙලා තියෙන්නේ කොහොම හරි දිනන්න. මොකද ඔවුන් තමන්ගේ රැකියාව ආරක්‍ෂා කරගන්න ඕන නිසා.
තවත් පැත්තකින් මම දන්නවා පන්දු යැවීමේ ඉරියව්ව ගැන ප්‍රශ්න තියෙන ක්‍රීඩකයන්ට පවා දිගටම එහෙම කරන්න පුහුණුකරුවන් උපදෙස් දෙනවා. ඒත් මේකේ තියෙන අඳුරු පැත්ත මේකයි. මේ වගේ දක්‍ෂතා රැසක් තියෙන ක්‍රීඩකයන් ඒ කාලයේදීම නිවැරදි නොකළාම ඔවුන් දිගින් දිගටම එහෙම පන්දු යවනවා. ඊට පස්සේ ජාතික තලයට නැත්නම් අන්තර්ජාතික තරග බිමට ගියාම අහුවෙනවා. ඊට පස්සේ පැත්තකට වීසිවෙනවා. මා මෙතැනදී කාටවත් ඒ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කරන්නේ නෑ. ඒත් මේ පණිවුඩය දෙන්න ඕනෑමයි.
ඒ නිසා පුහුණුකරුවා විතරක් නෙමේ, කණ්ඩායම භාර ගුරුමහතාත්, විදුහල්පතිතුමාත් මේ සම්බන්ධයෙන් දුර බැලිය යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය දෙස බලන්න. ඒ වගේම ක්‍රීඩකයාගේ අනාගය දෙසත් බලන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් බැලුවාම මා හිතන්නේ තේරීම් කමිටු නිලධාරීන් වටා පුහුණුකරුවන්, කණ්ඩායම් භාර ගුරුමහත්වරුන්, විදුහල්පතිවරුන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් යන සියලු දෙනාම ඒකරාශී විය යුතුයි. ඒ සියලු දෙනාම එක්වී 19 න් පහළ ලෝක කුසලානය දිනාගැනීම වෙනුවෙන් සැලසුම් කළ යුතුයි.
ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව අදටත් ලෝකයේ හොඳම පාසල් ක්‍රිකට් සංවිධානයයි. ඒ ගැන කිසිම සැකයක් නෑ. ලෝකයේ ඕනෑම තැනක සිටින ක්‍රිකට් විශාරදයකුගෙන් අහන්න. ඔහු ඒකට එකඟ වේවි.
ලෝකයේ හොඳම පාසල් ක්‍රිකට් සංවිධානය තිබුණත්, හොඳම අය එහි පරිපාලනයේ සිටියත්, අවශ්‍ය ප්‍රතිඵලය අපට ලැබී නෑ. අපි 19 න් පහළ ලෝක කුසලානය දිනලා නෑ. ඒ නිසා මේකට සම්බන්ධවෙලා ඉන්න සියලුම දෙනාගෙන් අප ඉල්ලා සිටින්නේ මේකයි. වසර 2020 දීවත් 19 න් පහළ ලෝක කුසලානය දිනාගන්න ඒකරාශී වෙන්න කියලයි.
මේ උදාර සම්මාන ප්‍රදානෝත්සවය වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සිවී කටයුතු කරන ද සන්ඬේ ටයිම්ස් පුවත්පත සහ ඩයලොග් ආයතනය මෙන්ම පාසල් ක්‍රිකට් සංගමයේත් සම්මාන තේරීම් කමිටුවේත් නිලධාරීන් වෙතත් විශේෂ ස්තුතියක් පුද කළ යුතුමයි. මේ සද්කාර්යය තවත් බොහෝ කලක් වැජඹේවා යන්න මගේ අවංක ප්‍රාර්ථනාවයි.
සියලුම සම්මානලාභීන්ටත්, ඔවුන්ට සම්මාන දිනාගැනීමට උපකාරීවූ අනෙක් ක්‍රීඩකයන්ටත් මගේ උණුසුම් සුබපැතුම්
වසරේ දක්ෂතම නැගී එන ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ රත්ගම දේවපතිරාජ විදුහලේ කවිෂ්කා දිල්හාරි සන්ඬේ ටයිම්ස් පුවත්පතේ අන්තර්ජාල සංස්කාරිකා ලැනල් හිල්ස් මහත්මිය අතින් සිය සම්මානය ලබා ගත් අවස්ථාව. ඩයලොග් ආසියාටා සමාගමේ ජ්‍යෙෂ්ඨ කලමණාකාරිණී (ජංගම සහ අන්තර්ජාල සේවා) ජයනි ගුරුගේ මහත්මියද ඡායාරූපයේ සිටින්නීය. |
වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ නුගේගොඩ අනුලා විදුහලේ හර්ෂිතා සමරවික්‍රම ඩයලොග් ආසියාටා සමාගමේ ජ්‍යෙෂ්ඨ කලමණාකාරිණී (ජංගම සහ අන්තර්ජාල සේවා) ජයනි ගුරුගේ මහත්මිය අතින් සිය සම්මානය ලබා ගත් අවස්ථාව. ඩයලොග් ආසියාටා සමාගමේ අළෙවි ප්‍රධානී ශමීල් බිෂ්රි මහතාද ඡායාරූපයේ සිටියි. |
වසරේ දක්ෂතම බාලිකා පාසල් ක්‍රිකට් කණ්ඩායම බවට පත් වූ රත්ගම දේවපතිරාජ විදුහල |
වසරේ දක්ෂතම නැගී එන පාසල් ක්‍රිකට් කණ්ඩායම කළුතර තිස්ස විදුහල |
ඡායාරූප - චතුර එස්. කොඩිකාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.