Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket_inner ෆින්ච්ගේ ලෝක වාර්තාව ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

ෆින්ච්ගේ ලෝක වාර්තාව ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

Nisanka Sandeepani - 2018 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඒරන් ෆින්ච්ගේ ලෝක වාර්තාව හමුවේ ඕස්ට්‍රේලියාව, පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස සිම්බාබ්වේට එරෙහිව හරාරේ ක්‍රීඩාගණයේදී ඊයේ (3 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 100 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක ඒරන් ෆින්ච් පන්දු 76 කදී ලකුණු 172 ක් රැස්කළේ විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කරමිනි. ෆින්ච්ගේ වේගවත් ඉනිම දැවැන්ත හයේ පහර 10 කින් සහ හතරේ පහර 16 කින් සමන්විත විය. 

විස්සයි20 තරගයක මින් පෙර පැවැති ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද ෆින්ච් සතුවූ අතර 2013 වසරේ එංගලන්තයට එරෙහිව පැවැති තරගයකදී ලකුණු 156 ක් රැස්කරමින් ඔහු එම වාර්තාව පිහිටුවා තිබිණ. එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ රැදී සිටින ඕස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල් 2016 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරගයකදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 145 කි. 

ඩි’ආසි ෂෝට් (46) සමග එක්ව ඕස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 116 කදී ෆින්ච් ගොඩනැගූ ලකුණු 223 ක සම්බන්ධතාව එදා මෙදා තුර විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් ගොඩනැගුණ ඉහළම සම්බන්ධතාව ලෙස වාර්තා අතරට එක්විය. එහි මින් පෙර පැවැති වාර්තාව වූයේ 2016 වසරේදී මාටින් ගප්ටිල් (නොදැවී 87) සහ කේන් විලියම්සන් (නොදැවී 72) එක්ව පාකිස්තානයට එරෙහිව පන්දු 106 කදී ගොඩනැගූ ලකුණු 171 ක නොබිඳුණ වාර්තාවයි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 230 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 129 ක් පමණි. සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සොලමන් මයර් පන්දු 19 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 28 ක් රැස්කළේය. 

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇන්ඩෘ ටේ, සිය ඕවර 4 ලකුණු 12 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේය. සිම්බාබ්වේ පිතිකරුවන් පීඩනයට පත් කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඇස්ටන් ඒගර් ලකුණු 16 කට කඩුලු 2 ක් බිඳහෙළීය. 

ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 2 ක් දැවී 229 
(ඒරන් ෆින්ච් 172, ඩි’ආසි ෂෝට් 46, බ්ලෙසිං මුසර්බානී 38/2) 

සිම්බාබ්වේ - ඕවර 20 කදී සියලු දෙනා දැවී 129 
(චමූ චිබාබා 18, සොලමන් මයර් 28, පීටර් මුවර් 19, ඇන්ඩෘ ටේ 12/3, ඇස්ටන් ඒගර් 16/2) 

-036 


අදහස් (0)

ෆින්ච්ගේ ලෝක වාර්තාව ඕස්ට්‍රේලියාවට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.