Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Dialog Rugby ගුවන් හමුදාව ප්‍රමාද වී බෝම්බ දමයි

ගුවන් හමුදාව ප්‍රමාද වී බෝම්බ දමයි

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජවසම්පන්න ගුවන් හමුදා කණ්ඩායම හමුවේ ලකුණු 26-12ක පරාජයක් අත්විඳමින් අන්තර් සමාජ ඩයලොග් ලීග් පළමුපෙළ රග්බි තරගාවලියේ පිට පිටම සිය පස්වැනි වතාවටත් පරාජයම උරුම කරගැනීමට සී.එච්. ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායමට ඊයේ සිදුවිය.

කොළඹ තුරඟ තරග පිටියේ පැවැති මේ තරගයේ පළමුභාගයේදී ලකුණු 12-6 කින් නොසිතූ ලෙස පෙරමුණ ගැනීමට සී.එච්. පිල සමත්වූවත් දෙවැනි භාගයේ දී සිය සුපුරුදු දස්කම් අතරට පිවිසි ගුවන් හමුදා ක්‍රීඩකයෝ පහසුවෙන්ම ජයග්‍රහණය අත්කර ගත්හ. ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝලයක්, උත්සාහක දිනුම් 2 ක් සහ දඬුවම් පහර 3 ක්  එක්වූ අතර සී.එච්. පිල රැස් කළේ ගෝලයක් සහ උත්සාහක දිනුමක් පමණි.

ආරම්භයේදී තරගයට යම්කිසි ජීවයක් කැවූ සී.එච්. පිල පළමු මිනිත්තු 15 පුරා ගුවන් හමුදා පිල ඇද බැඳ තබාගැනීමට සමත්වූ අතර යෝෂිත රාජපක්ෂ තැබූ අනගි උත්සාහක දිනුමක් විශ්ව දිනෙත් විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු 7-0 ක් ලෙස සී. එච්. පිල වේලාසනින්ම පෙරමුණ ගත්තේය. ඊට මොහොතකට පසුව ලද දඬුවම් පහරක් සාර්ථක කරගත් නුවන් පෙරේරා ගුවන් හමුදා පිලට ලකුණු 3ක් ගෙන දුන්නේ ලකුණු තත්ත්වය 7-3 ක් ලෙස තබමිනි.

වැඩි වේලා යාමට පෙර කසුන් ශ්‍රීනාත් තැබූ උත්සාහක දිනුමකින් ලකුණු 12-3 ක් ලෙසින් සී.එච්. පිල පෙරමුණ ගනිද්දී ගුවන් හමුදා පිල අන්දමන්ද විය. කෙසේ හෝ වේවා තරගයේ පළමු භාගය නිමාවීමට පෙර නුවන් පෙරේරා තවත් දඬුවම් පහරක් සාර්ථක කරමින් ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 6 දක්වා ඉහළ දැමීමට සමත්විය.

දෙවැනි භාගයේදී සිය ආක්‍රමණීශීලිත්වය වැඩි කළ ගුවන් හමුදා පිල ක්‍රීඩකයෝ ආරම්භයේ සිටම සැලසුම් සහගත තරග රටාවක නිරතවූ අතර ළහිරු උදයංග තැබූ උත්සාහක දිනුමකින් ලකුණු පරතරය 12-11 දක්වා අඩුකර ගත් අතර අමිල බණ්ඩාරගේ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ නුවන් පෙරේරා ලකුණු 18-12 කින් ගුවන් හමුදා පිල ඉදිරියට ගෙන ගියේය.

ඉන් අනතුරුව තරගයේ තුන්වැනි දඬුවම් පහරත් සාර්ථක කරගත් හෙතෙම සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 21-12 කින් ඉදිරියට ගෙන ගියේය.

තරගය නිමාවීමට පෙර රනිල් මැදගෙදර තැබූ උත්සාහක දිනුම ගුවන් හමුදා පිලේ ජය තහවුරු කළේය.

 

ගුවන් හමුදා - සී.එච්. ඇන්ඩ් එෆ්.සී. අන්තර් සමාජ ඩයලොග් රග්බි තරගයේ විශේෂ අවස්ථා ...

(ඡායාරූප - වරුණ කරුණාසේකර)

 


අදහස් (0)

ගුවන් හමුදාව ප්‍රමාද වී බෝම්බ දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.