Last Update  :  2025-01-02 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic විනිසුරු තීරණය වෙනස් වීමෙන් කුසලානය ඒස් කැපිටල්ට
23 න් පහළ ක්‍රිකට්

විනිසුරු තීරණය වෙනස් වීමෙන් කුසලානය ඒස් කැපිටල්ට

editorial - 2024 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

මතභේදාත්මක විනිසුරු තීරණයක වාසිය උපරිම ලෙසින් උකහාගත් ඒස් කැපිටල්  ක්‍රීඩකයෝ වයස 23 න් පහළ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ ශූරතාව දිනාගත්හ. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පසුගිය 4-5 දෙදින පැවැති අවසන් මහ තරගයේදී මුල් ඉනිමේ වාසිය අත්පත් කරගත් ඒස් කැපිටල් ක්‍රීඩකයෝ 2024 වසරේ ශූරතාව සමගින් රුපියල් ලක්‍ෂ 5 ක ත්‍යග මුදලක් දිනාගත්හ.

පළමුවෙන් පන්දුවට පහර දුන් මුවර්ස් ක්‍රීඩකයන් ලබාගත් ලකුණු 233 කට පිළිතුරු සොයා යමින් සිටි ඒස් කැපිටල් පිලේ 8 වැනි කඩුල්ලත් ලකුණු 129 කට ඇද වැටිණ. තරගයේ පූර්ණ ජයග්‍රහණයක් ලැබිය නොහැකි වූයේ නම්, මුල් ඉනිමේ වාසිය මත කුසලානය හිමිවන බැවින්, ඒ වන විට ඒස් කැපිටල් බලාපොරොත්තු අන්තයටම සිඳී ගොස් තිබිණ.

කෙසේ වෙතත් අංක 9 සහ 10 පිතිකරුවන් දෙදෙනා වූ සසංක නිර්මාල් සහ දනාල් හේමානන්ද එක්ව මුලු ලකුණු සංඛ්‍යාව 182 ක් දක්වා තල්ලු කරගෙන ගියේ කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නංවමිනි.

දනාල් හේමානන්ද පන්දුවට පහර දෙමින් සිටියදී කඩුලු රකින්නා අතට දුන් උඩපන්දුවක් දෙමින් ඔහු දැවී ගියේ යයි විනිසුරුවරයා තීරණය කිරීම හේතුවෙන් හේමානන්ද ක්‍රීඩාගාරය වෙතට ගියේ කෝපාවිෂ්ඨ ආකාරයෙන් විනිසුරුවරයාට බැණ වදිමිනි. පිතිකරුවා හතරේ සීමාව ආසන්නයටම ගොස් සිටියදීත්, තමන්ගේ තීරණය පිළිබඳ සාකච්ඡා කළ ලින්ඩන් හැනිබල් සහ රසාංජන දුල්සිරි යන විනිසුරුවරු දෙදෙනා, පිතිකරුවා නැවතත් සීමාවට කැඳවමින් පන්දුවට පහරදීමට අවසර දුන්හ.

සියල්ල වෙනස්වූයේ එතැනිනි.

නැවත පිතිකරු සීමාවට එන විටත් සසංක සහ දනාල් දෙදෙනා අතර පැවැති 9 වැනි කඩුල්ලේ අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 53 ක් විය. එතැන් සිට නැවතත් එක්වූ පිතිකරුවන් දෙදෙනා අතර සම්බන්ධතාව බිඳ වැටෙන විට පුවරුවේ ලකුණු 295 ක් සටහන් වී තිබූ අතරම මුල් ඉනිමේ වාසිය ද ඒස් කැපිටල් පිල වෙත හිමිවී තිබිණ.

මුවර්ස් නායකයා තමන්ගේ කඩුලු රකින්නා හැර සෙසු ක්‍රීඩකයන් 10 දෙනාම පන්දු යැවීමට යොදාගත් නමුත් සසංක - දනාල් සම්බන්ධතාව බිඳ වැටෙන විට 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 166 ක් එක්වී තිබිණ.

සසංක නිර්මාල් පන්දු 167 කට මුහුණ දෙමින් නොදැවී ලබාගත් ලකුණු 106 ට හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත් විය. පන්දු 119 කට මුහුණ දෙමින් දනාල් හේමානන්ද ලබාගත් ලකුණු 70 හතරේ පහර 7 කින් සහ හයේ පහරකින් සමන්විත විය.

ලකුණු 84 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ මුවර්ස් ක්‍රීඩකයෝ, තරගය නිමාවන විට කඩුලු 3 ක් දැවී ලකුණු  124 ක් ලබා සිටිය ද කුසලානය ඒස් කැපිටල් පිල සතුවිය.

 

මුවර්ස් ක්‍රීඩා සමාජය - පළමු ඉනිම 233 යි
(ඔමේෂ් මෙන්ඩිස් 27, රවිශාන් ද සිල්වා 23, ජනිෂ්ක පෙරේරා 92, සෙනිත හැළඹගේ 16, යෙසිත් රූපසිංහ 33, කවිඳු අමන්ත 10/3, රවීන් ද සිල්වා 32/3)

ඒස් කැපිටල් ක්‍රීඩා සමාජය - පළමු ඉනිම 317 යි
තරිඳු අමරසිංහ 20, වනුජ සහන් 10, තීරක රණතුංග 14, සකුණ ලියනගේ 24, රවීන් ද සිල්වා 44, සංසක නිර්මාල් නොදැවී 106, දනාල් හේමානන්ද 70, ජනිශ්ක පෙරේරා 52/3, යෙසිත් රූපසිංහ 53/3)

මුවර්ස් ක්‍රීඩා සමාජය - දෙවැනි ඉනිම කඩුලු 3 ට 124 යි
(ඔමේෂ් මෙන්ඩිස් 50, රවිශාන් ද සිල්වා 16, ලොහාන් ද සොයිසා 12, යෙසිත් රූපසිංහ නොදැවී 30, මෙලාන් හංසක 17/2)

 

 

අවසන් මහ තරගයේ විශේෂ සම්මාන
■ අවසන් මහ තරගයේ වීරයා - සසංක නිර්මාල් (ඒස් කැපිටල්)
■ තරගාවලියේ දක්‍ෂතම පන්දු යවන්නා - විහස් තෙව්මික (ද්‍රවිඩ සංගමය)
■ තරගාවලියේ දක්‍ෂතම පිතිකරු - රවිශාන් ද සිල්වා (මුවර්ස්)
■ තරගාවලියේ වීරයා - යෙසිත් රූපසිංහ (මුවර්ස්)

 

අනුශූරතාවය හිමිවූ මුවර්ස් කණ්ඩායම 

 

අවසන් තරගයේ වීරයා - සසංක නිර්මාල් (ඒස් කැපිටල්)

 

තරගාවලියේ වීරයා - යෙසිත් රූපසිංහ (මුවර්ස් ක්‍රීඩා සමාජය)


අදහස් (0)

විනිසුරු තීරණය වෙනස් වීමෙන් කුසලානය ඒස් කැපිටල්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.