Last Update  :  2025-02-13 17:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic අසලංක එස්.එස්.සී. පිල ඉනිමකින් දිනවයි
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

අසලංක එස්.එස්.සී. පිල ඉනිමකින් දිනවයි

editorial - 2025 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

චරිත් අසලංකගේ අති විශිෂ්ට තුන් ඉරියව් දස්කම් මෙන්ම නායකත්වයෙන් ද සවිමත් වූ එස්.එස්.සී. ක්‍රීඩකයෝ අද නිමාවූ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගයකදී ද්‍රවිඩ සංගම් පිල ඉනිමකින් සහ ලකුණු 10 කින් පරාජය කළහ. තරගයේ තුන්වැනි දිනය වූ අද (09 වැනිදා) ද්‍රවිඩ සංගම් කණ්ඩායම ලකුණු 203 කට දවාලමින් එස්.එස්.සී. ක්‍රීඩකයෝ මෙම ජයග්‍රහණය අත්පත් කරගත්හ. 

එස්.එස්.සී. පිල වෙනුවෙන් මුල් ඉනිමේදී ශතකයක් (128) ලබාගත් චරිත් අසලංක ද්‍රවිඩ සංගම් ඉනිම දෙකේදීම ලකුණු 205 කට කඩුලු 10 ක් දවාගත්තේය. ඔහුගේ විශිෂ්ට පන්දු යැවීම වඩාත් කැපී පෙනෙන්නේ එස්.එස්.සී. පිලේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් නිස්සංක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටියදී, පන්දු යැවීමේ සම්පූර්ණ බර කරට ගනිමින් තම කණ්ඩායමට ඉනිමක ජයග්‍රහණයක් කරා යාමට මාවත විවර කර දීමයි. 

ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 320 ක් ලබාගත්තේය. 
දෙවැනිව පිති අතට ගත් එස්.එස්.සී. ක්‍රීඩකයෝ, පළමුව මුල් ඉනිමේ ජයග්‍රහණය ස්ථිර කරගත් අතර දෙවනුව ලකුණු වේගය වැඩි කරමින් ඕවර 103 කදී කඩුලු 7 කට ලකුණු 533 ක් ලබාගත්හ. ඊයේ සවස් වන විට ලකුණු 432 ක් ලබාසිටි එස්.එස්.සී පිතිකරුවෝ අද පෙරවරුවේදී ලකුණු තවත් ලකුණු 101 ක් තම පිලට එකතු කළහ. එහිදී නුවනිඳු ප්‍රනාන්දු (110), චරිත් අසලංක (128) මෙන්ම චමිඳු වික්‍රමසිංහත් (නොදැවී 29) තමන් මුහුණ දුන් පන්දු සංඛ්‍යාවට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගත්හ. 

එස්.එස්.සී. පිලේ ලකුණු ලබාගැනීමේ වේගය ඕවරයකදී ලකුණු 5.17 ක් වූ අතර පළමු පෙළ තරගයක පළමු ඉනිමේදී එය කැපී පෙනෙන හපන්කමකි. 

අන්තර් ක්‍රීඩා සමාජ (පළමු පෙළ) තරගාවලියේදී මේ දක්වා තරග 7 කට සහභාගි වී සිටින එස්.එස්.සී. පිල ලබාගත් මුල්ම ජයග්‍රහණය මෙයයි. දිනයේ නිමාව පෙනෙන මානයේ තිබියදී ද්‍රවිඩ සංගම් දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 5 ට 177 ක් ලෙසින් සටහන් වූවද, ඕවර 7.5 කදී ලකුණු 26 කට අවසන් කඩුලු 6 ම ඇද වැටිණ. ඒ අතුරින් නිපුන් ධනංජය ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගත්තේය. 

තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් තරග කරන සිංහල ක්‍රීඩා සමාජය අද සවස් වන විටත් ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ 8 වැනි ස්ථානයේ සිටියේය. මෙවර පළමු පෙළ තරගාවලිය නිමාවේදී ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩවල අවසන් කණ්ඩායම් දෙකම ලබන වසරේදී පළමු පෙළ තත්ත්වය නොමැති ‘බී’ තලයේ තරගාවලියට තල්ලු කෙරෙන බැවින්, බී තලයට තල්ලු නොවීම සඳහා එස්.එස්.සී. පිල සහ නුගේගොඩ ක්‍රීඩා සමාජය අතර ඇත්තේ තියුණු තරගයකි. 


ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම 320 යි
එස්.එස්.සී. - පළමු ඉනිම කඩුලු 7 ට 533 යි

(නිපුන් ධනංජය 14, ෂෙවොන් ඩැනියෙල් 142, අවිශ්ක ප්‍රනාන්දු 39, ක්‍රිෂාන් සංජුල 48, චරිත් අසලංක 128, නුවනිඳු ප්‍රනාන්දු 110, චමිඳු වික්‍රමසිංහ 29, තරිඳු රත්නායක 207/4)

ද්‍රවිඩ සංගමය - දෙවැනි ඉනිම 203 යි
(තුලින ඩිල්ෂාන් 21, සඳුන් වීරක්කොඩි 127, රසිත් උපමාල් 15, තරිඳු රත්නායක 13, කසුන් රාජිත 19/2, චරිත් අසලංක 93/4, නිපුන් ධනංජය 13/3)


අදහස් (0)

අසලංක එස්.එස්.සී. පිල ඉනිමකින් දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.