Last Update  :  2025-02-13 17:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic එස්.එස්.සී. පළමු ඉලක්කයට අවතීර්ණ වෙයි
අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට්

එස්.එස්.සී. පළමු ඉලක්කයට අවතීර්ණ වෙයි

editorial - 2025 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ෂෙවොන් ඩැනියෙල් (142) සහ චරිත් අසලංක (නොදැවී 102) දෙදෙනා ලබාගත් ශතක දෙකත් සමගින් ද්‍රවිඩ සංගම් පිලේ ලකුණු 320 අභිබවා ගිය එස්.එස්.සී. පිතිකරුවෝ තරගයේ මුල් ඉනිමේ වාසිය අත්පත් කරගෙන සිටිති. අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරගාවලියේ තරගයක් වන මෙම තරගයේ දෙවැනි දිනය වන අද (08 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 4 ට 432 ක් ලබා සිටි එස්.එස්.සී. පිලේ මීළඟ ඉලක්කය වන්නේ හෙට දිනය ඇතුළත පූර්ණ ජයක් ලබාගැනීමයි. ඒ වෙනුවෙන් දැනටමත් එස්.එස්.සී. කණ්ඩායම ලකුණු 112 ක් ඉදිරියෙන් සිටී. 

ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 320 ක් ලබාගත්තේය. 
මුලින්ම මුල් ඉනිමේ වාසිය සොයා ගිය එස්.එස්.සී. පිලේ තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ක්‍රිෂාන් සංජුල සහ ෂෙවොන් ඩැනියෙල් එක්ව ලකුණු 129 ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. ලකුණු සංඛ්‍යාව 267 ක්ව තිබියදී ක්‍රිෂාන් සංජුල දැවී යාමෙන් පසුව එක්වූ නායක චරිත් අසලංක සහ නුවනිඳු ප්‍රනාන්දු අතර පස්වැනි කඩුල්ල වෙනුවෙන් පවතින අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 165 කි. 

අන්තර් ක්‍රීඩා සමාජ (පළමු පෙළ) තරගාවලියේදී මේ දක්වා තරග 6 කට සහභාගි වී ඇතත් එස්.එස්.සී. පිල තවමත් සිය පළමු වැනි ජයග්‍රහණය සොයමින් සිටී. තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙයන් තරග කරන සිංහල ක්‍රීඩා සමාජය මේ වන  විට ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ 8 වැනි ස්ථානයට වැටී සිටී. මෙවර පළමු පෙළ තරගාවලිය නිමාවේදී එක් එක් කාණ්ඩයේ අවසන් කණ්ඩායම් දෙකම ලබන වසරේදී පළමු පෙළ තත්ත්වය නොමැති ‘බී’ තලයේ තරගාවලියට තල්ලු කෙරෙනු ඇත. 

ලබන වසරේදී ‘බී’ තලයට නොවැටී සිටීමට නම් එස්.එස්.සී. පිලට ඉතිරිව ඇති තරග දෙකේදී අවම වශයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණ දෙකක් වත් අවශ්‍ය වී තිබේ. මෙම සති අන්තයේදී පැවැත්වෙන ද්‍රවිඩ සංගම් පිලට (ප්‍රසාද ලකුණු පුවරුවේ 3 වැනි ස්ථානය) එරෙහි තරගයට පසුව එස්.එස්.සී. පිලට ඉතිරිව ඇත්තේ එන්.සී.සී. (ප්‍රසාද ලකුණු පුවරුවේ 1 වැනි ස්ථානය) පිලට එරෙහි තරගයයි. 


ද්‍රවිඩ සංගමය - පළමු ඉනිම 320 යි
(නවෝද් පරණවිතාන 14, සිනෙත් ජයවර්ධන 24, තුලින ඩිල්ෂාන් 66, තරිඳු හර්ෂණ 29, රිසිත් උපමාල් 60, ළහිරු සමරකෝන් 21, තරිඳු රත්නායක 50, කළණ පෙරේරා 46, චරිත් අසලංක 112/6)

එස්.එස්.සී. - පළමු ඉනිම කඩුලු 4 ට 432 යි
(නිපුන් ධනංජය 14, ෂෙවොන් ඩැනියෙල් 142, අවිශ්ක ප්‍රනාන්දු 39, ක්‍රිෂාන් සංජුල 48, චරිත් අසලංක නොදැවී 102, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 75, තරිඳු රත්නායක 161/2)


අදහස් (0)

එස්.එස්.සී. පළමු ඉලක්කයට අවතීර්ණ වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.