Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Domestic එස්.එස්.සී - කෝල්ට්ස් ලකුණු සම වෙයි

එස්.එස්.සී - කෝල්ට්ස් ලකුණු සම වෙයි

editorial - 2022 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (29 වැනිදා) එස්.එස්.සී සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර පැවැති තරගය ලකුණු සම වීමෙන් අවසන් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 257 ක ඉලක්කයක් හඹාගිය කෝල්ට්ස් පිලට ඕවර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 256 ක් පමණි. අවසන් ඕවරයේදී ජයග්‍රහණය සඳහා කෝල්ට්ස් පිලට ලකුණු 9 ක් අවශ්‍ය වූ නමුත් ලබාගැනීමට හැකිවූයේ ලකුණු 8 ක් පමණි.

ලක්ෂිත මනසිංහ යවන ලද අවසන් ඕවරයේ පළමු පන්දුවෙන් ලකුණු 6 ක් ලබාගත් අකිල ධනංජයට දෙවැනි පන්දුවේදී එක් ලකුණක් සඳහා පැති මාරු කරගැනීමට සිදුවිය. පන්දුවට පහර දෙන අන්තයට පැමිණි අවසන් පිතිකරුවා වූ චමෝද් බට්ටගේට පන්දු 3 කදී ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් හිමි නොවීය. අවසන් පන්දුවට පහරක් එල්ල කළද ලකුණු 2 ක් සඳහා පැති මාරු කරගැනීමේදී පන්දු යවන්නාගේ අන්තයේදී අකිල ධනංජය දුවද්දී දැවීයාමකට හසුකර ගැනීමට පන්දු රකින්නෝ සමත්වූහ.

සංගීත් කුරේ පන්දු 75 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 66 ක් ලබාගත් අතර ධනංජය ලක්ෂාන් පන්දු 51 කදී හයේ පහරක් සහ හතරෙ පහර 9 ක් සමගින් ලකුණු 68 ක් ලබාගත්තේය.

සංගීත් කුරේ සහ ධනංජය ලක්ෂාන් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 115 කදී ලකුණු 133 ක සම්බන්ධතාවක් පැවැත්වීට සමත් වූහ. නමුත් දක්ෂ පන්දු යැවීමක නිරත වූ නිපුන් ධනංජය යවන ලද පළමු ඕවරයේ පළමු පන්දුවෙන් ධනංජය ලක්ෂාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය අතර එම ඕවරයේ අවසන් පන්දුව කඩුල්ලේ වැදීමෙන් සංගීත් කුරේ දැවී ගියේය.

ලකුණු 184 ක් තුල කඩුලු 6 ක් දවාගනිමින් තරගයේ වාසිය එස්.එස්.සී පිල වෙත නතුකර ගැනීමට පන්දු රකින්නන් සමත් වුවද නැවත් තරගයේ වාසිය තමන් වෙත හරවා ගැනීමට රවිඳු රසන්ත (39) සහ මුදිත ලක්ෂාන් (24) සමත්වූහ. ඔවුන් දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 72 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගුවද ඔවුන් දෙදෙනාගේ දැවී යාමත් සමගින් තරගයේ වාසිය දෙපිළ අතර දෝලනය විය.

නිපුන් ධනංජය කඩුලු 4 ක් සහ කළණ පෙරේරා කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එස්.එස්.සී පිල ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 256 ක් ලබාගැනීමට සමත්විය.

ආරම්භක පිතිකරු ක්‍රිෂාන් සංජුල ශතකය පෙනි පෙනී අකිල ධනංජයගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 92 කට දැවී ගියේය. අර්ධ ශතකයක් ලබාගත් (55) සම්මු අශාන්ද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දවාගැනීමට අකිල ධනංජය සමත්විය.

විනුජ රන්පුල් කඩුලු 4 ක් ද, අකිල ධනංජය කඩුලු 2 ක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

තවත් තරග 11 ක් ඊයේ පැවැති අතර එහිදී ජයග්‍රහණ වාර්තා කිරීමට බී.ආර්.සී, කුරුණෑගල යොවුන්, කැන්ඩි කස්ටම්ස්, සී.සී.සී, හලාවත මේරියන්ස්, යුද හමුදාව, ද්‍රවිඩ සංගමය, බ්ලූම්ෆීල්ඩ්, ඒස් කැපිටල්, මූවර්ස්, බදුරලිය කණ්ඩායම් සමත්වූහ.

අද පැවැති තරග වලදී ගුවන් හමුදා පිලේ මුවින් සුබසිංහ, බ්ලූම්ෆීල්ඩ් පිලේ ප්‍රශාන් වික්‍රමසිංහ, ඒස් කැපිටල් පිලේ ලසිත් කෘස්පුල්ලේ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත් වූ අතර බී.ආර්.සී පිලේ දුවිඳු තිලකරත්න කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


එස්.එස්.සී - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 256
(නිපුන් ධනංජය 26, ක්‍රිෂාන් සංජුල 92, සම්මු අෂාන් 55, දසුන් ශානක 26, රනුද සෝමරත්න 21, විනුජ රන්පුල් 47/4, අකිල ධනංජය 42/2).

කෝල්ට්ස් - ඕවර 50 කදී සියලුදෙනා දැවී 256
(සංගීත් කුරේ 66, ධනංජය ලක්ෂාන් 68, රවිඳු රසන්ත 39, මුදිත ලක්ෂාන් 24, නිපුන් ධනංජය 29/4, කළණ පෙරේරා 28/2)

 


අදහස් (0)

එස්.එස්.සී - කෝල්ට්ස් ලකුණු සම වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.