Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features ගලිවර්ලා හමුවීමේ අභියෝගය
1 වැනි විස්සයි-20 තරගය

ගලිවර්ලා හමුවීමේ අභියෝගය

editorial - 2024 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පුහුණුකරු සනත් ජයසූරිය සහ චරිත් අසලංක තණතීරුව පරීක්‍ෂා කරමින්...

(දමින්ද විජේසූරිය පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට...)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (27 වැනිදා) පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන්නේ විස්සයි-20 තරගාවලියකි. එය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ශ්‍රේණිගත කිරීම් අනුව නම් ගලිවර්ලා සහ ලිලිපුට්ලා අතර සටනකි.

විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේදී අන්තර්ජාතික ශ්‍රේණිගත ලයිස්තුවේ අංක 1 ස්ථානය හිමිකරගෙන සිටින ඉන්දියානුවෝ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් ලෝක ශූරයෝ ද වෙති. එහෙත් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට ඇත්තේ 8 වැනි ස්ථානයයි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමි එකම වාසිය ඉන්දීය පිලේ කෙරුම්කාරයන් වන විරාට් කෝලි, රෝහිත් ෂර්මා, ජස්ප්‍රීට් බුම්රා සහ රවීන්ද්‍ර ජදේජා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගෙන තිබීමයි. 

“ඉන්දියානුවන් පරාජය කරන්න ඕනේ වේග පන්දුවෙන්” යන්න දිගු කාලයක් පුරා ශ්‍රී ලාංකිකයන් අතර මුල්බැසගත් මතයකි. එහෙත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට නම්කර සිටි වේග පන්දු යවන්නන් තිදෙනකුම පළමු තරගයටත් පෙරම තරගාවලියෙන් ඉවත්ව සිටිති. 

දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර දෙදෙනා වෙනුවට අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුශංක කණ්ඩායමට කැඳවා තිබේ. බිනුර ප්‍රනාන්දු තවමත් කණ්ඩායමේ සිටියද, ඕනෑම මොහොතක බිනුර වෙනුවට රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමට ආදේශ වනු ඇත. කෙසේ වෙතත් ඇතැමුන්ගේ විග්‍රහය වන්නේ එය වෙස්වලාගත් ආශිර්වාදයක් විය හැකි බවයි. මක්නිසාද යත් අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුශංක දෙදෙනා මේ වන විට ඉතාමත් හොඳින් පන්දු යවමින් සිටින බැවිනි. 

ශ්‍රී ලංකා නායකයාත් තේරීම් කමිටුවත් මුහුණ දී සිටින ප්‍රධානතම ගැටළුව ඇත්තේ පිතිකරුවන් හයදෙනා සහ තුන් ඉරියව් ක්‍රීඩකයා තෝරා ගැනීම සම්බන්ධයෙනි. අද සවස් වන විට පැවැති තත්ත්වය අනුව දිනේෂ් චන්දිමාල්ට සහ දුනිත් වෙල්ලාලගේට කණ්ඩායමේ ස්ථාන අහිමිවිය හැකි වුවද, කණ්ඩායමේ සාකච්ඡා අනෙක අන්තයට ගියහොත් දුනිත් වෙල්ලාලගේ ඇතුළට ඇවිදින් දසුන් ශානකට ස්ථානය අහිමි වීමේ තත්තවයක් ද නැතුවා නොවේ. 

තණතීරුව සකස් කිරීමත් බරපතළ අභියෝගයක් වී තිබේ. 

මෑත කාලීන අන්තර්ජාතික තරග වලදී දුර්වල වූයේ ශ්‍රී ලාංකිකයන්ගේ පිතිහරඹයයි. එබැවින් පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් සකස් කිරීම සියදිවි නසාගැනීමකි. වේග පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක් සකස් කිරීමේ අරමුණ ඇතිව, තණතීරුවේ තණකොළ ඉතිරි කර තිබුණ නමුත් වේග පන්දු යවන්නන් තිදෙනකු සංචිතයෙන් ඉවත් වීම හේතුවෙන් එයද උහතෝකෝටිකයක් වී තිබේ. 

ඕනෑම මොහොතක තණකොළ සියල්ල බූගා දමා දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් සකස් කිරීමත් කළ හැකි නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම එවන් තීරණයක් ගැනීමට පෙර බොහෝ දුරදිග සිතා බලනු ඇත. 

අවසන් වරට පැවැති (එක්දින) තරග දෙකේදීම ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැවී ගිය අසරණ ආකාරය තවමත් ශ්‍රී ලාංකිකයක්ගේ සිත් තුළ හොල්මන් කරමින් තිබේ. කොළඹදී පැවැති ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී ලකුණු 50 කට දැවී ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එයින් සති හයක් යාමටත් මත්තෙන් මුම්බායි නුවරදී ලකුණු 55 කට දැවී ගියේද එක්දින ලෝක කුසලාන තරගයකදීය.

“එය අමතක කළ යුතු භයංකාර සිහිනයක්” යයි පුහුණුකරු සනත් ජයසූරිය මහතා කියතත් ශ්‍රී ලංකා පිතිකරුවන් ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්න බලාගැනීමට සිදුවන්නේ හෙටය. 

තරගය සඳහා වන ප්‍රවේශත් ඉතා සීඝ්‍රයෙන් අළෙවි වෙමින් පවතින බවත්, බොහෝ විට හෙට උදෑසන වන විට සියලුම ප්‍රවේශපත් විකිණී අවසන් විය හැකි බවත් ප්‍රවේශපත් අළෙවිකිරීමට සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය. 

“සමහර ප්‍රේක්‍ෂකාගාරවල ආසන දැනටමත් විකිණී අවසන්” යයි ද හෙතෙම පැවසීය. 


ශ්‍රී ලංකා සංචිතය
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග, අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්‍ෂණ, මතීෂ පතිරණ, දිනේෂ් චන්දිමාල්, දුනිත් වෙල්ලාලගේ, චමිඳු වික්‍රමසිංහ, ඩිල්ෂාන් මධුශංක, සහ බිනුර ප්‍රනාන්දු

ඉන්දීය සංචිතය : 
සූර්යකුමාර් යාදව් (නායක), ෂුබ්මන් ගිල්, යයස්වී ජයිස්වාල්, රින්කු සිං, රියාන් පරාග්, රිෂාබ් පාන්ට්, සංජු සැම්සන්, හාර්දික් පාණ්ඩ්‍යා, ෂිවම් ඩුබේ, අක්ෂර් පතෙල්, වොෂිංටන් සුන්දර්, රවී බිෂ්නෝයි, අර්ශ්දීප් සිං, කලීල් අහමඞ් සහ මොහොමඞ් සිරාජ්

 

(ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

ගලිවර්ලා හමුවීමේ අභියෝගය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.