Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features කෝටි 513 ක ක්‍රිකට් තරගයක්
පිට්ටනියෙන් එහා.. 1

කෝටි 513 ක ක්‍රිකට් තරගයක්

editorial - 2024 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

(සන්තෝෂ් මෙනන් විසිනි)

ඇමරිකානු එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායම 2024 විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී සුපිරි 8 දෙනාගේ වටයටත් පිවිස සිටී. එපමණක් නොව, ඔවුන් එම කණ්ඩායම් 8 ට ඇතුළත් වූයේ ප්‍රබලතම ආසියානු කණ්ඩායමක් වන පකිස්ථානය මෙන්ම සිය මහාද්වීපයේම පිහිටි කැනඩාව ද පරාජය කරමිනි. 

මීට වසර කිහිපයකට පෙර, කිසිවකු මෙවැන්නක් සම්බන්ධයෙන් අනුමාන කළේද ?

‘ක්‍රිකට්’ යනු පොදු රාජ්‍ය මණ්ඩලීය ජාතීන් වන එංගලන්තය, ඕස්ටේ්‍රලියාව සහ නවසීලන්තය යන රටවල මෙන්ම ඉන්දියාවේ, පාකිස්තානයේ, බංග්ලාදේශයේ සහ ශ්‍රී ලංකාවේත් මිනිසුන් මූලික වශයෙන් උනන්දු වූ ක්‍රීඩාවකි. ඔවුන් අතුරින් කිසිවකු ඇමරිකානු කණ්ඩායමක් විසින් පාකිස්තානය පරාජය කරනු ඇතැයි සිතුවේද ? 

එහෙත් වර්තමානය වන විට එක්සත් ජනපදයේ ජීවත් වන, දකුණු ආසියානු සම්භවයක් ඇති, අතිවිශාල ජනගහණය නිසා, ක්‍රිකට් තරග සඳහා, ඇමරිකා එක්සත් ජනපදයේත් ඇති ඉල්ලුම විශාල වී තිබේ. ඇමරිකාවේ ස්වදේශිකයන් අතර ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය කරවීමට ‘අළෙවි උපක්‍රම’ නිර්මාණයේදී එක්සත් ජනපදයේ අනෙකුත් ජනප්‍රිය ක්‍රීඩා වල සුපිරි තරු ද ඒවාට සම්බන්ධ කර ගනී. මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට පෙර එහි දැන්වීම් සඳහා උසේන් බෝල්ට් සම්බන්ධ කරගැනීමත් ඒවායින් එකකි. 

කෙසේ වෙතත් මේ තත්ත්වය, ක්‍රිකට් ක්‍රීඩාව සැබෑ ගෝලීය ක්‍රීඩාවක් බවට පත්වීමේ පළමු පියවර ලෙසින් අපි දකිමු. එහෙත් ඇත්ත කතාව නම්, ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය වශයෙන් වඩාත් ඉදිරියට තල්ලු කර ඇත්තේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය නිසා බවයි. 

ඉන්දියානු ආර්ථිකයේ වර්ධනය ගැන ඕනෑතරම් දේ ලියා තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කටයුතුවලදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ආධිපත්‍යය ගැන ද ඕනෑ තරම් ලියා ඇත. එහෙත් මේ ලිපියේ අරමුණ එය නොවේ. අපගේ උත්සාහය වන්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයත්, විශේෂයෙන්ම මේ වන විට සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙමින් සිටින ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉන්දියාවෙන් උගත හැකි පාඩම් මොනවා ද යන්නත් සාකච්ඡා කිරීමයි. 

ක්‍රිකට් ක්‍රීඩාවේදී, ගෝලීය වශයෙන්, දැවැන්ත ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීමේ අර්ථයෙන් ගත්කළ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ කතාව ඇදහිය නොහැකි තරම්ය. වසර 2014-15 කාලසීමාවේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (ඊක්‍ක්‍ෂ) ශුද්ධ වටිනාකම ඩොලර් මිලියන 500 ක් පමණ විය. එහෙත් පසුගිය වසර 10 තුළ මෙම ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 2.25 දක්වා වර්ධනය වී තිබේ. ඇත්ත ඇති සැටියෙන් කිවහොත්, එය කළින් තිබූ අගය මෙන් හතර ගුණයකටත් වඩා වැඩි වී ඇත. 

ගෝලීය වාර්තා සංසන්දනය කිරීමේදී, ශුද්ධ වටිනාකම අනුව, ඊළඟට ඉහළම වටිනාකමක් ඇති ක්‍රිකට් පාලක මණ්ඩලය වන්නේ ඩොලර් මිලියන 79 ක ශුද්ධ වටිනාකමක් ඇති ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයයි. එහෙත් ඇත්ත වශයෙන්ම, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිය ආසන්නතම තරගකරුවාට වඩා 28 ගුණයකින් පොහොසත් ය. අනෙක් අතට ලෝකයේ සියලුම ක්‍රිකට් පාලක මණ්ඩලවල ශුද්ධ වටිනාකම් එක්කාසු කළ කල්හි, එය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වත්කමින් 16%ක් පමණි. 

ඇදහිය හැකිද ?
ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවේ මෙම ක්‍ෂණික නැඟීම සඳහා එක් ප්‍රධාන සාධකයක් වී ඇත්තේ ඉන්දීය ප්‍රිමියර් ලීග් (ෂඡඛ) තරගාවලියේ අති විශිෂ්ට සාර්ථකත්වයයි. 

මීට මාස කිහිපයකට පෙර, ප්‍රමුඛ පෙළේ ගෝලීය උපදේශන සමාගමක් විසින් අයි.පී.එල්. (ෂඡඛ) තරගාවලියේ සන්නාම වල වටිනාකම ඩොලර් බිලියන 10.7 ක් බවට තක්සේරු කරන ලදි. මේ තත්ත්වය අයි.පී.එල්. තරගාවලිය 2008 දී දියත් කළ දා සිට තිබූ වටිනාකමට සාපේක්‍ෂව 433 % ක වැඩිවීමකි. එය පසුගිය වසරට වඩා 28 % ක වැඩිවීමකි. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්, 2023-27 කාලය සඳහා අයි.පී.එල්. තරගාවලියේ විකාශන අයිතිය ඩොලර් බිලියන 6.2 කට හෙවත් ඩොලර් මිලියන 6200 කට පසුගියදා විකුණා දැම්මේය. එයින් කියැවෙන්නේ එක අයි.පී.එල්. තරගයක වටිනාකම ඩොලර් මිලියන 16.8 ක් බවයි. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 5129.5 කි. නැතහොත් රුපියල් කෝටි 513 ආසන්නයේ තිබෙන්නකි. 

කිසියම් ක්‍රීඩාවක, එක තරගයක රූපවාහිනී විකාශන අයිතිය සඳහා මීට වඩා වැඩි මුදලක් ගෙවන්නේ නම් ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පාපන්දු ලීගයේ (භත්‍ඛ) තරග සඳහා පමණි. මේ තත්ත්වය අනුව අයි.පී.එල්. තරගාවලිය යනු අනෙකක් නොව, ලෝකයේ වඩාත්ම පොහොසත් තරගාවලි වලින් එකකි. 

ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග කිහිපයක් ඇමරිකාවේදී පැවැත්විණ. ඉන්දියාවේ විරාට් කෝලිට සමාජ මාධ්‍ය අනුගාමිකයින් මිලියන 381 සිටින බව දැන ගැනීමෙන් ලෝක කුසලාන තරගාවලිය අතරතුර ඇතැම් ඇමරිකානු විචාරකයෝ මහත් විමතියට පත් වූහ. 

සමාජ මාධ්‍ය අනුගාමිකයන්ගේ සංඛ්‍යාව අනුව,  ඔහු ලෝකයේ විශිෂ්ටතම ක්‍රීඩකයින් 3 දෙනාගෙන් අයකු බවට පත්වී තිබේ. ඔහුට ඉදිරියෙන් සිටින්නේ සුපිරි පාපන්දු ක්‍රීඩකයන් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී පමණි. බ්‍රසීලයේ පාපන්දු තරුව නේමාර්, ඇමරිකානු පැසිපන්දු තරුව ලී බෝන් ජේම්ස් සහ ප්‍රංශයේ පාපන්දු තරුව කයිලියන් ම්බාපේ ටත් වඩා ඉදිරියෙන් විරාට් කෝලි සිටී. 

මෙයින් කියැවෙන්නේ ගෝලීය ප්‍රේක්‍ෂකාගාරයේදී ක්‍රීඩකයකු වශයෙන් කේලිට ඇතිකළ හැකි බලපෑමයි. කෝලි එවන් ඉහළ තැනකට නැගීමෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට දැවැන්ත වාසියක් අත්වී තිබේ. 

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් හොඳම වැටුප් ලබන අයගෙන් සමහරකි. සන්නාම සඳහා පෙනී සිටීමෙන් අනුමත ගෙවීම් මගින් ද ඔව්හු අති විශාල මුදලක් උපයා ගනිති. 

අනෙක් අතට, කණ්ඩායම් දෘෂ්ටිකෝණයකින් බලන කල්හි, සැඟවී යාමට සිටි අති දක්‍ෂ ඉන්දියානු ක්‍රීඩකයෝ රාශියක් අයි.පී,එල්. තරගාවලිය නිසා හඳුනාගන්නා ලදහ. ඒ අතරම ජාතික කණ්ඩායමේ ප්‍රයෝජනය සඳහා, දක්ෂතා වඩ වඩාත් පෝෂණය කිරීමටත්, සංවර්ධනය කිරීමට සහ ක්‍රියාවේ යෙදවීමට කිසියාකාරයෙන් ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් ද නිර්මාණය විය.  

මෙම යාන්ත්‍රණයේ මෙන්ම ක්‍රියාදාමයන්හි ප්‍රයෝජන මොනවාද යන්න අන්තර්ජාතික තරග බිමේදී ඉන්දීය කණ්ඩායමේ දක්‍ෂතා මගින් සහතික කරනු ලබයි. 

කලකට ඉහතදී නම්, වේග පන්දු යැවීම සහ පන්දු රැකීම සම්බන්ධයෙන් ඉන්දියානුවෝ මහත් දුර්වල යයි බොහෝ දෙනා කීවෝය. එහෙත් ඉන්දීය කණ්ඩායම, අද ලෝකයේ හොඳම වේග පන්දු බලඇණියකින් සමන්විත වන අතරම ඕනෑම වෙලාවක, පන්දුව යන්නේ කොතැනින්ද, ඇසිපිය හෙළන සැණින්, පන්දුව වෙත ඇදෙන, මනා ශාරීරික යෝග්‍යතාවකින් යුත්, ජවසම්පන්න ක්‍රිකට් ක්‍රීඩකයින් සමූහයක් ගැන ද පුරසාරම් කියයි.


අනුවාදය : දමින්ද විජේසූරිය
- මතු සම්බන්ධයි


අදහස් (2)

කෝටි 513 ක ක්‍රිකට් තරගයක්
  • RANDIL Tuesday, 25 June 2024 04:21 PM

    ඉතා වටිනා ලිපියක්... ස්තුතියි..!

    Reply 0       0

    Deasun Monday, 08 July 2024 10:48 AM

    තාවකාලිකව ධම්මික සුදර්ශන දැම්මා නම් ඉවරයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.