Last Update  :  2024-09-19 19:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features චන්දිමාල් අංක 3 ස්ථානයට කැඳවයි
පළමු ටෙස්ට් තරගය

චන්දිමාල් අංක 3 ස්ථානයට කැඳවයි

editorial - 2024 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

මාසයකට ඉහතදී ඉන්දියාව පරාජය කිරීමත් ලන්ඩන් ඕවල් පිටියේදී ලබාගත් ටෙස්ට් ජයග්‍රහණයත් නිසා ශ්‍රී ලංකා කණ්ඩයම කෙරේ නැවතත් බලාපොරොත්තු දැල්වී තිබේ. මේ ජයග්‍රහණ දෙකම පසුබිමේ සනත් ජයසූරිය සිටීම ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු වඩාත් උද්දීපනය කරන්නකි. 

එහි තීරණාත්මක සාධකය වී ඇත්තේ “ලකුණු ගහන්නේ නැත්නම්, කඩුලු දවාගන්නේ නැත්නම් කණ්ඩායමේ තැනක් නෑ” යන්නයි. මේ සනත් ජයසූරිය මහතා පුහුණුකරු තනතුර බාරගත් දිනයේ සිටම කියමින් සිටි කතාවකි. 

“මේ ගොල්ලන්ට එයාලගේ වගකීම දැනෙන්න අරින්න ඕනා. තමන්ගේ වැඩේ කරන්නේ නැත්නම්, එළියට යන්න සූදානම් වෙන්න කියලා මම කියලා තියෙන්නේ” යයි ඉන්දීයානුවන් හමුවේ විස්සයි-20 තරගාවලිය පරාජය වූ දිනවලදීම ජයසූරිය මහතා කීවේය.
 එහි ප්‍රතිඵල ඊළඟ තරගාවලි දෙකේදීම දැකගත හැකිවිය. 

එංගලන්ත සංචාරයේදී ලකුණු 177 ක් ලබාගත් දිනේෂ් චන්දිමාල් අංක 3 ට කැඳවමින් මේ වසර පුරාම ක්‍රීඩා කළ ටෙස්ට් ඉනිම 9 කදී ලකුණු 201 කට සීමාවූ කුසල් මෙන්ඩිස් අංක 7 ට තල්ලුකර යවා ඇත්තේ කඩුලු රැකීමේ දුෂ්කර කාර්යයත් ඔහුගේ කරපිට පටවමිනි.
 
මෙවැනි බරපතළ තීරණ ගතහැක්කේ සනත් ජයසූරිය මහතාටම පමණි. වතාවක් (2014 දී) ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාව සිටි දිනේෂ් චන්දිමාල්ව 11 දෙනාගෙන් ඉවත් කළ, එවකට තේරීම් කමිටු සභාපතිවරයාව සිටි සනත් ජයසූරිය මහතා, සෙසු ක්‍රීඩකයන් සමගින් එක්ව විස්සයි-20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ආවේය. 

නවසීලන්තයට එරෙහිව ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (18 වැනිදා) ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලැස්ම මෙයයි. මෙම තරගය ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරගයකි.

මෙවැනි තීරණ වලින් එක රැයින් ප්‍රතිඵල ලැබුණත් නොලැබුණත්, ටිකක් ඉවසා සිටින්නට සිදුවේ. මක්නිසාද යත් දූරදර්ශී තීරණ සැණෙකින් ප්‍රතිඵල නොගෙනෙන බැවිනි. 

කුමාර් සංගක්කාර ද කඩුලු රකින්නාව සිටියදී ශතක ලබාගත් නමුත් ඔහුගෙන් කණ්ඩායමට අති විශිෂ්ට දායකත්වයක් ලැබුණේ අංක 3 පිතිකරුවා ලෙසිනි. කඩුලු රැකීමේ අත් ආවරණ ගලවාගැනීම “තමන්ට සිදුවූ විශාලතම යහපත” යයි සිය සමුගැනීමේ ටෙස්ට් තරගයට තරග දෙකක් මෙපිටින් සිටියදී සංගක්කාර ප්‍රකාශ කළේය.

“මම කඩුලු රකින එක එයාලා නතර කළාම, මම ඒකට කොහෙත්ම කැමති වුණේ නෑ. ඒත් තේරීම් කමිටුව මට කතාකරලා මෙහෙම කිව්වා - ‘අපි කරන්න හදන්නේ ඔයාගේ පිතිහරඹය වඩාත් හොඳ තැනකට ගෙනල්ලා, කණ්ඩායමට ඔයාගෙන් ලැබෙන ලකුණු ප්‍රමාණය වැඩිකරන්නයි. අපි ඔයාට කියන්නේ මේ දේ කරන්න කියලා. ඒකෙන් ඔයාටත් හොඳක් වෙනවා. කණ්ඩායමටත් හොඳක් වෙනවා - ඒ වෙලාවේ මම හිතුවේ ඒක ඇත්තක් නෙමේ, මට දෙකම (අංක 3 ස්ථානයේ පිතිහරඹය සහ කඩුලු රැකීම) කරන්න පුළුවන් කියලයි. ඒත් මම දැන් (වසර 9 කට පසුව) අපසු හැරිලා බලනකොට, මට වෙච්ච විශාලම යහපත ඒක කියලයි මට හිතෙන්නේ”

“ගන්න තීරණයේ වගකීම මට පවරන්නේ නැතිව, මා වෙනුවෙන් ඔවුන් ඒ වගේ තීරණයක් ගත්ත එක අති විශිෂ්ට දෙයක්. මම ලබාගත්ත ලකුණු සංඛ්‍යාවට වගේම ශතක වලටත් ඒ තීරණයෙන් විශාල බලපෑමක් ඇතිවුණා” යයි 2015 දී සිය සමුගැනීමේ තරගාවලියට පොරතුව සංගක්කාර පැවසීය. 

රොමේෂ් කළුවිතාරණගේ අනුප්‍රාප්තිකයා ලෙසින්, වසර 2000 දී ගාල්ලෙන් සිය ටෙස්ට් දිවිය ආරම්භ කළ සංගක්කාර සිය පළමු වසර 6 ක කාලයේදී කඩුලු රකින පිතිකරුවකු ලෙසින් ටෙස්ට් ඉනිමකදී ලකුණු 46.90 ක සාමාන්‍යයක් සටහන් කළේය. එහෙත් කඩුලු රැකීමේ අත් ආවරණ ඉවත් කිරීමෙන් පසුව ගතවූ වසර 9 ක කාලයේ, ටෙස්ට් තරග 84 කදී, ලකුණු 9188 ක් ලබාගත් හිටපු කඩුලු රකින්නා, ඒවායේදී ලකුණු 68.05 ක සාමාන්‍යයක් පෙන්නුම් කළේය. 

සංගක්කාරගේ කඩුලු රැකීම සම්බන්ධයෙන් තේරීම් කමිටුවට තිබුණේ සරළ තර්කයකි. 
“ඕවර 120 ක විතර ඉනිමක කඩුලු රැකීමකට පස්සේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා පළමු ඕවරයේදීම දැවී ගියොත්, ඊළඟට එන්නේ කඩුලු රකින්නා නම්, එයාට විවේකයක් කොයින්ද ?” 

වර්තමාන කණ්ඩායම සම්බන්ධයෙන් ද පුහුණුකරු සනත් ජයසූරිය මහතාට ඇත්තේ ඒ තර්කයමය. 

මේ වසර පුරාම පෙන්නුම් කරන අසාර්ථකත්වය නිසා කුසල් මෙන්ඩිස් අංක 7 ට තල්ලු කර ඇතත් කුසල් මෙන්ඩිස් යනු අංක 7 පිතිකරුවකු නොවේ. චන්දිමාල්ගේ සාර්ථක අසාර්ථකත්වය මත නැතහොත් ඇන්ජලෝ මැතිව්ස් විශ්‍රාම ගැනීමෙන් පසුව, නැවතත් අංක 3 හෝ 4 ස්ථාන දෙකින් එකකට කුසල් මෙන්ඩිස් කැඳවීම වැළැක්විය නොහැක්කකි. කුසල් මෙන්ඩිස් යනු ටෙස්ට්  ඉනිමකදී ලකුණු 250 ක් ඉක්මවා ලබාගත හැකි සුවිශේෂී පිතිකරුවෙකි. අවාසනව නම් ඔහු ඒ බව වටහාගෙන තොතිබීමයි. 

දකුණු අප්‍රිකාවේ සිට කැඳවන ලද ඕෂධ ප්‍රනාන්දු හෙට තරගයට ක්‍රීඩා නොකරයි. 

පිතිකරුවන් හත් දෙනකු සහ පන්දු යවන්නන් හතර දෙනකු සමගින් මෙම තරගයට පිවිසීම ශ්‍රී ලංකා කණ්ඩායමේ උපාය වී තිබේ. එතැනදී පන්දු යවන්නන්ගේ සංයුතිය 2:2 ක් වූවද, අවශ්‍ය වුවහොත් ඇන්ජලෝ මැතිව්ස් ඕවර කිහිපයක් යැවිය යුතු බව සනත් ජයසූරිය මහතා අද පැවැති පුවත් පත් සාකච්ඡාවේදී අවධාරණය කරමින් කියා සිටියේය. 

“බැහැයි කියලා දෙයක් නෑ. කණ්ඩායමට අවශ්‍ය වුණොත් ඕවර ටිකක් යවන්න එයාට පුළුවන් වෙන්න ඕනේ” යයි තුන් ඉරියව් ක්‍රීඩකයා පිළිබඳව කළ විමසීමේදී ජයසූරිය මහතා පැවසීය. 

ටෙස්ට් තරග දෙකකදී දවාගත්තේ කඩුලු 8 ක් පමණක් වුවද, ප්‍රභාත් ජයසූරිය එංගලන්තයේදීත් සාර්ථක පන්දු යැවීමක නිරත වූයේය. එංගලන්තයේදී නොසිටි නමුත් නවසීලන්තයට එරෙහි තරගාවලියේදී ප්‍රභාත්ට සුපුරුදු සහායකයා වන රමේෂ් මෙන්ඩිස් නැවතත් හමුවී තිබේ. 


ශ්‍රී ලංකා කණ්ඩායම (පිතිකරු අනුපිළිවෙල අනුව) 
දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා (නායකයා), කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ළහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු


නවසීලන්ත සංචිතය 
ටිම් සවුති (නායකයා), කේන් විලියම්සන්, ටොම් ලෙතම්, විල් යංග්, ටොම් බ්ලන්ඩල්, ඩෙවොන් කොන්වේ, මයිකල් බ්‍රේස්වෙල්, ඩැරිල් මිචෙල්, ග්ලෙන් පිලිප්ස්, රචින් රවීන්ද්‍ර, මිචෙල් සෑන්ට්නර්, මැතිව් හෙන්රි, විලියම් ඕ’රූක්, අජාස් පතෙල් සහ බෙන් සියර්ස් 

විනිසුරුවරු
මයිකල් ගෆ් (එංගලන්තය) සහ අසන් රාසා (පාකිස්තානය)

තරග තීරක
ජවගල් ශ්‍රීනාත් (ඉන්දියාව)


අදහස් (0)

චන්දිමාල් අංක 3 ස්ථානයට කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.