Last Update  :  2025-02-13 14:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features දඟ පන්දු යවන්නන්ගේ සටනක්
එක්දින තරගාවලිය

දඟ පන්දු යවන්නන්ගේ සටනක්

editorial - 2025 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර හෙට (12 වැනිදා) ආරම්භ වන තරග දෙකකින් යුත් එක්දින තරගාවලිය දෙපිලටම එතරම් වැදගත්කමක් නැති නමුත් ශූරයන්ගේ කුසලාන තරගාවලියට යන ඕස්ට්‍රේලියානුවන්ට පුහුණු තරග දෙකක් පමණක් බව ඇතැම්හු කියති. 

කිසි සේත්ම එය එසේ නොවේ. මෙම එක්දින තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අවස්ථාවකි. 

එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත ලයිස්තුවේ 6 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට (ප්‍රසාද ලකුණු 97) එහි 2 වැනි ස්ථානයේ සිටින ඕස්ට්‍රේලියාව (ප්‍රසාද ලකුණු 113) පරාජය කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළට යාමට ඇති කදිම අවස්ථාවකි. 

ගෙවී ගිය 2024 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 21 කට සහභාගි වෙමින්, ඒවායින් 13 ක් ජයගත්තේය. එක්දින තරගාවලි 5 ක ජයග්‍රාහකයා වූ නමුත් ශ්‍රී ලංකා පිලට ඉහළ නැඟිය හැකිවූයේ ස්ථාන දෙකක් පමණි. 

මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේ එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේදී ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටි සිම්බාබ්වේ සහ ඇෆ්ඝනිස්ථානය වැනි කණ්ඩායම් වලට එරෙහිව වීමයි. ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටි නමුත් බංග්ලාදේශයට එරෙහිව බංග්ලාදේශයේදී පැවැති තරගාවලියත් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට මව්බිමේදී නම් නවසීලන්ත කණ්ඩායම පරාජය කළ හැකිවිය. නමුත් නවසීලන්තයේදී පරාජය විය. 
මෙම තත්ත්වයන් හමුවේ ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව හෙට ආරම්භ වන තරගාවලිය ජයගත හැකිනම්, ලෝකයේ අංක 2 හිමි කණ්ඩායම පරාජය කරමින් ප්‍රසාද ලකුණු කිහිපයක් එකතු කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇත්තේ කදිම අවස්ථාවකි. 

මන්දගාමී ආර්. ප්‍රේමදාස තණතීරුවේදී ඕස්ට්‍රේලියානුවන් අමාරුවේ දැමීමට සැදී පැහැදී වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩසේ යන දඟ පන්දු යවන්නෝ සිව්දෙනෙක් ශ්‍රී ලංකාවට සිටිති. ඔවුන් හතර දෙනා හතර වරිගයේ දඟ පන්දු යවන්නෝ ද වෙති. එහෙත් ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකා පිතිකරුවන් ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන්ට කෙසේ මුහුණ දේවිද යන්නයි. 

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින තරග ඉතිහාසය 1975 දක්වා ඈතට දිවයන්නකි. එදා මෙදා තුර දෙපිල අතර පැවැති එක්දින තරග 103 දී ලකුණු 500 ඉක්මවූ පිතිකරුවෝ 26 දෙනෙක් දෙපිලේම සිටිති ඔවුන්ට ආසන්නයෙන්ම සිටිමින්, තවමත් අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ රැඳී සිටින එකම පිතිකරුවා වන කුසල් මෙන්ඩිස්ට (462) ලකුණු 500 සමාජයට ඇතුළත් වීමේ අවස්ථාවක් ද මෙම තරගාවලියේදී උදාවෙයි. 

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගවලදී ඉහළම ලකුණු ලබාගත් පිතිකරුවා කුමාර් සංගක්කාර (1675) වන අතර දෙවැන්නා රිකී පොංන්ටිං (1649) ය. 

ඩුබායි රාජ්‍යයේදී පැවැති පුහුණුවීමේ කඳවුර, ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව පරාජය කිරීමට තමන්ට මහෝපකාරී වූ බව ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් කීවේය. 

“මේ තරගාවලියේදී අපි ශූරයන්ගේ කුසලාන තරගාවලිය ගැන හිතන්නේ නෑ කිව්වොත් මම කියන්නේ බොරු. ඒක (ශූරයන්ගේ කුසලාන තරගාවලිය) අපට ඉතාමත් වැදගත් තරගාවලියක්. ඒ හින්දා අපි පුළුවන් තරම් හොඳින් මේ එක්දින තරග දෙකම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා” යයි කී ස්ටීවන් ස්මිත්....

“ඒක (ඩුබායි නුවරදී පැවැති පුහුණු කඳවුර) අපට ඉතාමත් ප්‍රයෝජනවත් වුණ එකක්. ඒකෙදි අපි පිතිකරුවන්ට අභියෝගාත්මක තණතීරු හදාගෙන, මේ (ශ්‍රී ලංකාවේදි) වගේ තත්ත්වයන් යටතේ සාර්ථක වෙන ක්‍රමවේද හදාගත්තා” 

“දඟ පන්දු යවන්නන් ඒ ගොල්ලන්ගේ පන්දු යැවීමේ වේගය වෙනස් කරමින් පුහුණුවීම් කරද්දී වේග පන්දු යවන්නෝ පන්දුව නොපිටට දෝලනය කරන්න පුහුණුවුණා” යයි ද ස්මිත් අද පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය. 

ප්‍රධාන මාධ්‍ය කුටියේ සිටිමින් ස්මිත් එසේ කියද්දී ග්ලෙන් මැක්ස්වෙල් ඇතුළු ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ ප්‍රේමදාස පුහුණු තීරුවේදී ‘ස්වීප්’ සහ ‘රිවර්ස් ස්වීප්’ පහර ගැසීමට වැඩි වැඩියෙන් පුහුණුවෙමින් සිටියහ. 

ඕස්ට්‍රේලියානු පිතිකරු ලයිස්තුවේ පළමු හය හත් දෙනා ගැන නම් එතරම් පුදුම වීමට දෙයක් නැත. විශේෂයෙන්ම ට්‍රැවිස් හෙඩ් සහ ග්ලෙන් මැක්ස්වෙල් දෙදෙනා තුළ පිට දඟ පන්දු යවන්නන් දෙදෙනකු සිටීමත් ඕස්ට්‍රේලියානුවන් සතු දැවැන්ත වාසියකි. ඔවුන්ට දෙදෙනාට අමතරව තන්වීර් සංගා, කූපර් කොනලි, මැතිව් කුනේමන් මෙන්ම ඇඩම් සම්පා යන දඟ පන්දු යවන්නෝ සිව් දෙනාත් ඕස්ට්‍රේලියානුවන් සතුව සිටිති. 

මෙම තරගාවලිය දඟ පන්දු යවන්නන් අතර කදිම සටනක් ලෙසින් පහසුවෙන්ම හැඳින්විය හැකි නමුත් පිතිකරුවන්ටත් එහි සෑහෙන ඉඩක් තිබේ.  

ඕස්ට්‍රේලියානු කණ්ඩාමේ නායක පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ් සහ මිචෙල් මාෂ් යන තිදෙනාම විවිධ ආබාධයන්ට ලක්ව සිටිති. ඔවුන් වෙනුවට ග්ලෙන් මැක්ස්වෙල්, නේතන් එලිස් සහ ඇඩම් සම්පා එක්දින කණ්ඩායමට එක්ව සිටින අතර ටෙස්ට් ක්‍රීඩකයන් වන ට්‍රැවිස් හෙඩ් සහ මිචෙල් ස්ටාක් දෙදෙනාත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටිති. 

පැට් කමින්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් නායකත්වය ස්ටීවන් ස්මිත්ට පැවරී තිබේ. 

එක්දින තරගාවලියේදී ආරම්භක පිතිකරුවන් ලෙසින් මැතිව් ෂෝට් සහ ට්‍රැවිස් හෙඩ් යොදවාගැනීමට ඕස්ට්‍රේලියානුවෝ බලාපොරොත්තුවෙන් සිටිති. ඔවුන් දෙදෙනාගෙන් කිසිවකු අසාර්ථක වේ නම් ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක් ආරම්භක පිතිකරුවාගේ භූමිකාව බාරගැනීමට සූදානමින් සිටී. 

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙන තරග දෙකම පෙරවරු 9.30 ට ආරම්භ වන අතර දිවා තරග ලෙසින් පැවැත්වෙයි. 

ශ්‍රී ලංකා එක්දින සංචිතය 
චරිත් අසලංක (නායකයා), පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, නිශාන් මධුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, මොහොමඩ් ශිරාස් සහ එශාන් මාලිංග

ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය 
ස්ටීවන් ස්මිත් (නායකයා), ෂෝන් ඇබට්, ඇලෙක්ස් කේරි, කූපර් කොනලි, බෙන් ඩ්වාර්ෂියුස්, නේතන් එලිස්, ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක්, ස්පෙන්සර් ජොන්සන්, ඒරන් හාඩි, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉංග්ලිෂ්, මානස් ලැබුෂේන්, ග්ලෙන් මැක්ස්වෙල්, තන්වීර් සංගා, මැතිව් ෂෝට්, මිචෙල් ස්ටාක් සහ ඇඩම් සම්පා

ඡායාරූපය - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි

 


අදහස් (0)

දඟ පන්දු යවන්නන්ගේ සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.