Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය - ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට)
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (06 වැනිදා) ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සඳහා පැතුම් නිස්සංක කැඳවා තිබේ. හෙට තරගයේදී දිමුත් කරුණාරත්නගේ සහායක ආරම්භක පිතිකරුවා වශයෙන් පැතුම් නිස්සංක ක්‍රීඩා කරන බව නායක ධනංජය ද සිල්වා අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවේදී තහවුරු කළේය.
නවසීලන්තයේදී පැවැති සීමිත ඕවර තරගාවලියේදී ඉකිලියේ ආබාධයකට ලක්වූ පැතුම් නිස්සංක පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේ නැත. පැතුම් වෙනුවට පැමිණි ඕෂධ ප්‍රනාන්දුට පළමු ටෙස්ට් තරගයේ ඉනිම දෙකේදී ලබාගත හැකිවූයේ ලකුණු 07 සහ 06 කි.
පළමු තරගයේදී සාර්ථක වූයේ නම් ඕෂධ ප්‍රනාන්දුට සිය ස්ථානය රැකගැනීමේ අවස්ථාවක් නොතිබුණේම නොවේ. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සම්ප්‍රදාය වන්නේ කිසියම් ක්‍රීඩකයකු ආබාධයකට ලක්වීම නිසා කණ්ඩායමෙන් ඉවත් වුවහොත්, ඔහු නැවත පැමිණි පසුව ආදේශකයා ඉවත් වී හිටපු ක්‍රීඩකයාට ස්ථානය පිරිනැමීමයි. ඒ අනුව ඕෂධගේ ස්ථානය නැවතත් පැතුම් නිස්සංකට හිමිවීම අරුමයක් නොවේ.
දිමුත් කරුණාරත්නගේ 100 වැනි ටෙස්ට් තරගය මෙන්ම අවසන් ටෙස්ට් තරගය ද මෙයයි. අද දහවල් පැවැති පුවත් පත් සාකච්ඡාවේදී දිමුත් කියා සිටියේ ටෙස්ට් පිටියෙන් සමුගැනීමට මේ නියම අවස්ථාව බවයි.
“ඒක පහසු තීරණයක් නෙමේ. ඒත් කවදා හරි දවසක අපට යන්න වෙනවා... මම හිතන්නේ මේක තමයි නියම වෙලාව”
“මේක මගේ 100 වැනි ටෙස්ට් තරගය. ඒ තරගයේදීම සමුගන්න ලැබීම එකක්. මා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් බොහෝ දේ කරලා තියෙනවා. ඒවායේ සුන්දර මතක මම අරගෙන යනවා” යයි කී හිටපු නායකයා....
“මගේ මංගල තරගයත් තිබ්බේ ගාල්ලේදී. මගේ 100 වැනි තරගයේදීත් ලකුණු 100 ක් ගහලා ශ්‍රී ලංකාවට දිනන්න අවස්ථාවක් උදාකර දෙන්න තමයි මගේ උත්සාහය” යයි ද පැවසීය.
ටෙස්ට් පිටියෙන් සමුගැනීමත් සමගින් සියලුම ආකාරයේ අන්තර්ජාතික තරග වලින් සමුගන්නා බව කී දිමුත්, ක්‍රිකට් පුහුණුකරුවන්ගේ පාඨමාලා හැදෑරීම සඳහා තමා ඉතා ඉක්මනින්ම ඕස්ට්‍රේලියාව බලා යන බවත් කීවේය. එහෙත් අවශ්‍යතාව අනුව වසරක් හෝ දෙකක් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන බවත් දිමුත් කරුණාරත්න පැවසීය.
ක්‍රීඩකයන් 18 දෙනකුගෙන් සමන්විත වූ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයෙන් දෙවැනි තරගය සඳහා ළහිරු උදාර සහ විශ්ව ප්‍රනාන්දු නිදහස් කර තිබේ. ඒ වෙනුවට පිට දඟ පන්දු යවන රමේෂ් මෙන්ඩිස් සංචිතයට කැඳවා ඇත. රමේෂ් මෙන්ඩිස් සංචිතයට කැඳවීමට ආසන්නම හේතුව වී ඇත්තේ පළමු තරගයේදී පිට දඟ පන්දු යවන්නා වන නිශාන් පීරිස් අසාර්ථක වීමයි.
නායක ධනංජය ද සිල්වා නැවතත් පන්දු යැවීමට සූදානමින් සිටින බැවින්, හෙට තරගයේ ස්ථානයක් රමේෂ් මෙන්ඩිස් සහ නිශාන් පීරිස් අතර දෝලනය වෙමින් තිබේ.
මෙම වෙනස්කම් හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් වෙනස් වන ආකාරයක් පෙනෙන්නට නැත.
ඕස්ට්‍රේලියානු සංචිතයේ සිටි ගැටවරයා වන 19 හැවිරිදි සෑම් කොන්ස්ටාස් ආපසු ඕස්ට්‍රේලියාවට ගොස් තිබේ. ඇරත් ඕස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නන් තිදෙනාම පසුගිය තරගයේදීත් හොඳින් ක්‍රීඩා කළ බැවින්, කණ්ඩායම වෙනස් කිරීමේ හේතුවක් ඕස්ට්‍රේලියානුවන්ට නැතත්, ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට සූදානම් වන බැවින් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමේ අවස්ථාවක් ඕස්ට්‍රේලියානුවන්ට තිබෙන්නට පුළුවන.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
ධනංජය ද සිල්වා (නායකයා), දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, සොනාල් දිනූෂ, ප්‍රභාත් ජයසූරිය, ජෙෆ්රි වැන්ඩසේ, නිශාන් පීරිස්, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර සහ මිලාන් රත්නායක
ඕස්ට්‍රේලියානු සංචිතය
ස්ටීවන් ස්මිත් (නායකයා), ට්‍රැවිස් හෙඩ් (උප නායකයා), ෂෝන් ඇබට්, උස්මන් කවාජා, මානස් ලැබුෂේන්, නේතන් ලයන්, නේතන් මැක්ස්වීනි, ඇලෙක්ස් කේරි, මිචෙල් ස්ටාක්, ස්කොට් බෝලන්ඩ්, කූපර් කොනලි, ජොෂ් ඉංග්ලිෂ්, මැතිව් කූනේමන්, ටොඩ් මර්පි සහ බියු වෙබ්ස්ටර්
විනිසුරුවරු :
ක්‍රිස් ග්‍රැෆනි (එංගලන්තය) සහ ඒඩි්‍රයන් හෝල්ඩ්ස්ටොක් (දකුණු අප්‍රිකාව)
තරග තීරක :
ජෙෆ් ක්‍රෝ (නවසීලන්තය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.