Last Update  :  2025-02-20 18:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Features මද්දුමයාගේ හිස එසවීම
ශූරයන්ගේ කුසලාන 2025

මද්දුමයාගේ හිස එසවීම

editorial - 2025 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පවුලේ මද්දුමයා ඇතැම් විට හිතුවක්කාරයෙකි. නැතිනම් උදාසීනයෙකි. බොහෝ අවස්ථාවලදී මව් පියන්ගේ ආදරය සහ වැඩි අවධානය එක්කෝ වැඩිමලාට නැතිනම් බාලයාට හිමිවීම නිසා මද්දුමයා වැඩිමනත් සැලකිල්ලට ලක්වන්නේ නැත. එවන් අවස්ථාවලදී මද්දුමයා එක්කෝ හිතුවක්කාරයෙක් නැතහොත් උදාසීනයෙක් වීම වැළැක්විය නොහැකිය. 

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිමලා 1877 දී උපන් ‘ටෙස්ට්’ ක්‍රිකට් ක්‍රීඩාවයි. 1971 ජනවාරියේදී උපන් ‘එක්දින ක්‍රිකට්’ මද්දුමයාය. බාලයා 2006 දී උපන් විස්සයි-20 ක්‍රිකට්ය. දඟකාරකම් හේතුවෙන් බහුතරය බාලයාට වැඩි කැමැත්තක් දක්වති. කොතැනත් සිදුවන්නේ එයයි. 

එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවිය යුතු අවධානය මෙන්ම උනන්දුව වසර කිහිපයකට පෙර ගිළිහී ගියේය. අදින් (19 වැනිදා) ආරම්භ වන ශූරයන්ගේ කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ වසර අටකට පසුව වීම ඊට ඇති හොඳම උදාහරණයයි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත් ගුණාංග වැඩිප්‍රමාණයක් තවමත් රැඳී තිබෙන ජනප්‍රිය ආකෘතිය ‘එක්දින ක්‍රිකට්’ යයි කීම අතිශයෝක්තියක් නොවේ.

විස්සයි-20 ක්‍රිකට් බිහිවීමට පෙර, වසර හතරකට වරක් පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලි අතරේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවට මුදල් උපයා දුන්නේ ශූරයන්ගේ කුසලාන තරගාවලියයි. 1998 දී බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මුල්ම පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය එවකට එහි සභාපතිවරයා වූ ජග්මෝහන් දල්මියාගේ නිර්මාණයකි. එම තරගාවලිය එතැන් සිට සෑම වසර දෙකකට වරක්ම පැවැත්විණ. වසර 2000 තරගාවලිය කෙන්යාවේදී පැවැති අතර 2002 දී ශ්‍රී ලංකාවේදී පැවැත්විණ. වසර 2002 සිට එය ශූරයන්ගේ කුසලාන තරගාවලිය ලෙසින් හඳුන්වා දෙන ලදි. 

වසර 2006 දක්වා වසර දෙකකට වරක් පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලිය 2007 දී ආරම්භ වූ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව කුඩම්මාගේ සැලකිල්ලට බඳුන් විය. එතැන් සිට වසර හතරකට වරක් පැවැති (2009 - දකුණු අප්‍රිකාවේදී), (2013 - එංගලන්තයේදී) සහ (2017 -  එංගලන්තයේදී) පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලිය පසුව සියලු දෙනාටම අමතකව ගියේය. 

ශූරයන්ගේ කුසලාන තරගාවලියට කොඩිවිණය වූයේ අන් කිසිවක් නොව 2008 දී ආරම්භ වූ අයි.පී.එල්. තරගාවලියයි. පසුව ලෝකය පුරා බිහිවූ එවැනිම විස්සයි-20 ලීග විසින් සීමිත ඕවර ප්‍රේක්‍ෂකයන් සියලු දෙනාවම ඇදගන්නා ලදි.

විස්සයි-20 ක්‍රිකට් ආරම්භ වීමට පෙර රට රටවල ක්‍රිකට් පාලක මණ්ඩලවල මඩි තර කෙරුණේ එක්දින අන්තර්ජාතික තරගාවලි වලිනි. එකල එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ තැනක් තිබිණ. එහෙත් විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේ ආගමනයත් සමගින් තත්ත්වය වෙනස් විය. 

එංගලන්ත නායක ජොස් බට්ලර් දින කිහිපයකට ඉහතදී කියා සිටියේ ලෝකයේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් සහභාගි වන්නේ නම් එක්දින තරග වලට අනාගතයක් ඇති බවයි. වසර දෙකකට වරක් පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරගාවලියක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉදිරිපෙළ ක්‍රීඩකයෝ මැළි නොවෙත් 

කෙසේ වෙතත් 2021 දී අන්තර්ජාතික ක්‍රිකට් සභාව ගත් තීරණයක් අනුව ශූරයන්ගේ කුසලාන තරගාවලියේ නම වැන්න අද (19 වැනිදා) පාකිස්තානයේ කරච්චි නුවරින් ආරම්භ වේ. මෙම තරගාවලිය දිගහැරෙන ආකාරය අනුව එක්දින අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය හැඩගැසෙනු ඇත. 

තරගාවලියේ මුල්ම තරගය පාකිස්තානය සහ නවසීලන්තය අතර අද පස්වරු 2.30 ට ආරම්භ වෙයි. එය ඩයලොග් රූපවාහිනී සේවයේ ස්ටාර් ස්පෝට්ස් 2 නාළිකාව ඔස්සේ මෙන්ම සිරස රූපවාහිනියෙන් ද විකාශය කෙරේ. පියෝ ටීවී භාවිතා කරන අයට නාළිකා අංක 40 ඔස්සේ ශූරයන්ගේ කුසලාන තරගාවලිය නැරඹිය හැකිය. 


අදහස් (0)

මද්දුමයාගේ හිස එසවීම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.