Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football දේශීය තරගමාලා ජනවාරියේ සිට

දේශීය තරගමාලා ජනවාරියේ සිට

editorial - 2024 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනය මෙහෙයවන වසර 2022 සිට අඩපණවී තිබෙන  ප්‍රධානතම දේශීය පාපන්දු තරගමාලා ජනවාරි මාසයේ සිට ඇරඹීමට එම ආයතනය සැරසේ.ශූරයන්ගේ තරගාවලියෙන් දේශීය පාපන්දු තරගමාලා එළඹෙන 2025 සිට පවත්වා ගෙන යාමට එහිදී  තීරණයවී තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා ඒ සම්බන්ධයෙන් මේ වන විට ක්‍රීඩා සමාජ හා ලීග ප්‍රධානින් සමග සාකච්ඡා වට කීපයක්ම පවත්වා තිබේ.

එහිදී  මෙරට ප්‍රධානතම ක්‍රීඩා සමාජ ලීග් පාපන්දු තරගාවලිය වන ශූරයන්ගේ (චැම්පියන්) ලීග් තරගාවලිය  ජනවාරී මාසයේ සිට ඇරඹීම සදහා එහි ක්‍රීඩා සමාජ සමූහය ජස්වර් මහතාට කැමැත්ත පළ කර තිබේ.

කෙසේවූවත් සූපර් ලීග් පාපන්දු  තරගාවලිය (2024 -25) සූදානමට කාලය අවශ්‍ය බැවින් මාර්තු මාසයේ සිට පැවැත්වීමට ඊට එක්ව සිටින ක්‍රීඩා සමාජ කැමැත්ත පළ කර තිබේ.

ඒ හේතුවෙන් එහි ආරම්භය මාර්තු  මාසය දක්වා ප්‍රමාද කෙරෙන බව ශ්‍රී ලංකා පාපන්දු  සභාපතිවරයා පවසයි.

මේ අතර වාර්ෂික ප්‍රධානතම පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය වන එෆ්.ඒ. කුසලාන ලබන වසරේ සිට යළි ආරම්භ කෙරේ.

ජස්වර් උමාර් මහතාගේ  සංකල්පයක් අනුව ආරම්භ කළ අන්තර් පළාත් පාපන්දු තරගාවලිය 2021දී පළමු වතාවට ආරම්භ කළේය.එහිදී උතුරු පළාත් කණ්ඩායම එහි ශූරතාව දිනා ගත්තේ යාපනයේ  දොරේ අප්පා පිටියේදී පැවැති එහි අවසන් මහ තරගයේදී දකුණු පළාත් කණ්ඩායම පරාජය කරමිණි.

එහෙත් එම තරගාවලිය නැවැත ආරම්භ කිරීම පිළිබදව මෙතෙක්  අවසන් තීරණයක් ගෙන නැත.වියදම් ඉහළ යාම හේතුවෙන් මෙම තරගාවලිය නැවැත පැවැත්වීම සම්බන්ධයෙන් පාපන්දු ආයතනයේ විධායක සභාවේ එකගතාව පළවී නැතැයි ද වාර්තාවේ.

අවසන් වරට 2022 ඔක්තෝබර් මාසයේදී පවත්වා අවසන් කළ 2022 ශූරයන්ගේ ලීග් කුසලාන තරගාවලියේ ශූරතාව රුපියල් මිලියනයක් සමග දිනා ගත්තේ මාතර සිටි කණ්ඩායම විසිනි.

රුපියල් ලක්ෂ 50 ක මුදල් තෑග්ගක් හිමිවූ සුපිරි ලීග් තරගාවලියේ  අවසන් වරට පැවැති (2022) කුසලාන දිනා ගත්තේ කළුතර බ්ලූස්ටාර්ස් ක්‍රීඩා සමාජය විසිනි.අවසන් වරට පැවැති එෆ්. ඒ. කුසලාන තරගාවලියේ ශූරතාව (2020) පොලිස් ක්‍රීඩා සමාජයට හිමි විය.

පැවැති මෙම තරගාවලියට කණ්ඩායම් 950 ක් ඇයැදුම් කර තිබුණි. කෙසේවූවත් 2019 පාස්කු ප්‍රහාරය, ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනයේ ආරවුල්, 2020 දී පැන නැගුණු ගෝලීය කොවිඩ් අර්බුදය,ශ්‍රී ලංකාවට පැනවූ ජාත්‍යන්තර පාපන්දු තහනම හැරෙන්නට ඒ ඔස්සේ පැන නැගුණු මූල්‍ය අපහසුකම් ශ්‍රී ලංකාවේ මෙම දේශීය පාපන්දු තරග සෝදාපාලුවට හේතු විය.

එකී වකවානුවේදී උද්ගතවූ මෙරට පාපන්දු පරිපාලන ආරවුල් හා ඊට දේශපාලන ඇගිළි ගැසීම් චෝදනා කරමින් අන්තර්  ජාතික පාපන්දු සම්මේලනය විසින් 2023 ජනවාරි 21 සිට අගෝස්තු 28 දක්වා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක්ද්‍ පනවා තිබුණි.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසන්නේ දේශීය තරගමාලා පවත්වා ගෙන යාමට සිය ආයතනයට අවම රුපියල් කෝටි 30 ක් වත් අවශ්‍ය වන බවයි.කොවිඩ් සමයෙන් පසුව පාපන්දු ආයතනය මුහුණදී සිටින බරපතළ ගැටළුවක් වන්නේ දේශීය තරගමාලා සදහා මෙරට අනුග්‍රාහකයන් සොයා ගැනීමේ දුෂ්කරතායි.

ඒ අතර ශ්‍රී ලංකාවේ පාපන්දු පරිපාලනයට පැනවූ අන්තර් ජාතික තහනමත් සමග මෙරටට වෙන් කෙරෙන වාර්ෂික පාපන්දු අරමුදල්ද තාවකාළිකව අත්හිටුවීමට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය හා ආසියානු පාපන්දු සම්මේලනය පියවර ගත්තේය.

පසුව එය ළිහිල් කර ගැනීමට ජස්වර් උමාර් මහතා නැවැත පත්වීමෙන් පසුව අන්තර් ජාතික පාපන්දු සම්මේලනය හා සාකච්ඡා කිරීමෙන් පසුව සමත් විය. මේ වන විටත් සම්මේලනය මෙහෙයවන වාර්ෂික අන්තර් සමාජ දෙවැනි පෙළ තරගාවලිය ආරම්භ කර තිබේ.

ඒ අතර එහි පළමු පෙළ තරගාවලියත් වසර මැදදී ආරම්භ කිරීමට පාපන්දු සම්මේලනය අපේක්ෂා කරයි.        


අදහස් (0)

දේශීය තරගමාලා ජනවාරියේ සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.