Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football අල් මූතායිරිගේ පත්වීම ස්ථීර කරයි : මොරිසන් යයි

අල් මූතායිරිගේ පත්වීම ස්ථීර කරයි : මොරිසන් යයි

editorial - 2024 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස මෑතකදී බදවා ගත් කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතායිරි මහතාගේ එම පත්වීම ස්ථිර කිරීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව ලබන ජූනි - ජූලි කාල සීමාවේදී යෙදී තිබෙන සාෆ් පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වය අවසන් වනතුරු මෙරට ජාතික පාපන්දු කණ්ඩායමේ නිත්‍ය ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහුගේ ධූරය බලාත්මක කෙරේ.

ඒ පිළිබදව ‘‘ලංකාදීප’’ය කළ විමසුමකදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවැසුවේ මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටි ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන් මහතාගේ එකගතාවය ලබා ගනිමින් සිදු කළ මෙම පත් කිරීමත් සමග ඔහු ශ්‍රී ලංකා සේවයෙන් ඉවත්වූ බවයි.

අසනීප තත්වයක් හේතුවෙන් ඔහු පසු ගිය කාලයේදී ශ්‍රී ලංකා සේවයෙන් තාවකාලිකව ඉවත්ව මෙරටින් පිටව ගොස් තිබුණි. ඒ අනුව මොරිසන් මහතාගේ පත්වීමේදී දෙපාර්ශවය විසින් ඇති කර ගත් එකගතා ගිවිසුම අබ්දුල්ලා අල් මුතායිරි මහතාගේ පත්වීමත් සමග අහෝසි වන බව ජස්වර් උමාර් මහතා පැවැසීය.

පසුගිය අගෝස්තු මාසයේදී තාවකාලිකව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස බදවා ගත් අල් මුතායිරි මහතා යටතේ ශ්‍රී ලංකාව මේ දක්වා ජාත්‍යන්තර පාපන්දු තරග හතරකට සහභාගිවී තිබේ.

එහිදී කාම්බෝජය සමග පැවැති ආසියානු කුසලාන (2027) සුදුසුකම් නිර්දේශ තෙවැනි තරග වටය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ දෙරට අතර සැප්තැම්බරයේදී පැවැති පළමු තරගය සම කරමින් (0 - 0) හා දෙවැනි තරගය ජය (දඩුවම් පහර 4 - 2) ගනිමිනි.

අනතුරුව පසුගිය ඔක්තෝබර් 10 හා 13 යන දිනවල යන්ගුන් නුවරදී පැවැති මියන්මාරය සමග සුහද තරග දෙකෙන් පළමු තරගය ශ්‍රී ලංකාව ගෝල 2 -0 කට පරාජය වූවත් දෙවැනි තරගය සම කිරීමට (0 - 0) ශ්‍රී ලංකාවට හැකි විය.

පසුගිය 2022 ජූනි මාසයේ සිට ඉවත්ව යන තුරු ශ්‍රී ලංකා කණ්ඩායමට සේවය ලබා දුන් ඇන්ඩි මොරිසන් මහතා සේවය ලබා දුන් ජාත්‍යන්තර තරග හතකදී ශ්‍රී ලංකාව ජය ගෙන ඇත්තේ එක් තරගයක් (භූතානයට එරෙහිව     ගෝල 2 - 0 ) පමණි.

කෙසේවූවත් සැප්තැම්බර් 19 වැනිදා සිදු කළ ලෝක පාපන්දු (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව එතෙක් 205 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද සමත් විය.

එහෙත් ඔක්තෝබර් 24 වැනිදා සිදු කළ අලුත්ම එම ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකාව යළි 203 වැනි ස්ථානය දක්වා යළි පහළට ගියේ මියන්මාරය හමුවේ දෙවැනි තරගයෙන් ලද පරාජය නිසාය.

නව ශ්‍රී ලංකා නිත්‍ය පාපන්දු පුහුණුකරු 42 හැවිරිදි අල් මුතායිරි මහතා මීට පෙර නේපාලය හා ඇෆ්ගනිස්තානය යන රටවල ජාතික පාපන්දු පුහුණුකරු ලෙසත් කිරිගිස්ථානයේ ජාතික කනිෂ්ඨ පාපන්දු පුහුණුකරුවකු ලෙසත් කටයුතු කර තිබේ. ඒ හැරෙන්නට සෞදි අරාබියේ ක්‍රීඩා සමාජ පුහුණුකරුවකු ලෙසත් සේවය කර තිබේ.


අදහස් (0)

අල් මූතායිරිගේ පත්වීම ස්ථීර කරයි : මොරිසන් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.