Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ආර්ජන්ටිනාව කෝපා ඇමරිකා කුසලාන දිනයි

ආර්ජන්ටිනාව කෝපා ඇමරිකා කුසලාන දිනයි

editorial - 2024 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනයේ සංවිධායකත්වයෙන් ඇමරිකාවේදී පැවැති කෝපා ඇමරිකා - 2024 ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයේදී කොලොම්බියාවට එරෙහිව ගෝල 1-0 ක ජයක් වාර්තා කරමින් 16 වැනි වරටත් කුසලාන තමන් සතුකර ගැනීමට ආර්ජන්ටිනාව සමත් විය. 

මයාමි නුවර හාඩ් රොක් ක්‍රීඩාංගණයේදී පෙරේදා (14 වැනිදා) පැවැති මෙම අවසන් මහ තරගය ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර නියමිත කාලය අවසන් වන තෙක්ම දෙපිලේම ක්‍රීඩකයෝ ගෝල ලබාගැනීමට අපොහොසත් වූහ.

එබැවින් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දඬුවම් පහර කරා යෑමට පෙර විනාඩි 30 ක අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවන් පියවර ගත් අතර එහි 22 වැනි විනාඩියේදී නැතහොත් තරගයේ 112 වැනි විනාඩියේදී ආර්ජන්ටිනාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට ලෝටාරෝ මාර්ටිනස් සමත් විය. 

නිව් ජර්සි නුවරදී පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කැනඩාවට එරෙහිව ගෝල 2-0 ක ජයක් වාර්තා කරමින් ආර්ජන්ටිනාව අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය. කොලොම්බියාව අවසන් තරගයට පිවිසියේ චාර්ලට් නුවරදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී උරුගුවේට එරෙහිව ගෝල 1-0 ක ජයක් ලබමිනි. 

චාර්ලට් නුවරදී කැනඩාව සහ උරුගුවේ අතර තරගාවලියේ තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවැති තරගයේදී කැනඩාවට එරෙහිව දඬුවම් පහර 4-3 ක් ලෙස ජය වාර්තා කිරීමට උරුගුවේ සමත් විය. එම තරගයේ නියමිත කාලය සහ අතිරේක කාලය අවසන් වන විට දෙපිලම ගෝල 2 බැගින් ලබා සිටියේය. 

අවසන් මහ තරගයේදී කොලොම්බියාවේ ජෝන් කෝඩෝබා 27 වැනි විනාඩියේදී සහ මිගෙල් බෝර්ජා 115 වැනි විනාඩියේදීද, ආර්ජන්ටිනාවේ ඇක්සිස් මැක් ඇලිස්ටර් 61 වැනි විනාඩියේදී සහ ගියොවානි ලෝ සෙල්සෝ 118 වැනි විනාඩියේදීද විනිසුරුගේ දැඩි අවවාද සමගින් කහ කාඩ්පත් ලැබූහ. 

රටවල් 16 ක සහභාගීත්වයෙන් ක්‍රීඩාංගණ 14 කදී පැවැති මෙම තරගාවලියේදී ගෝල 70 ක් වාර්තා වූ අතර ආජන්ටිනාවේ ලෝටරෝ මාර්ටිනස් ගෝල 5 ක් ලබාගනිමින් වැඩිම ගෝල ලාභීයා බවට පත්විය. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොලොම්බියාවේ ජේම්ස් රොඩි්‍රගස්ද, දක්ෂතම දැළ රකින්නා ලෙස ආර්ජන්ටිනාවේ එමිලියානෝ මාර්ටිනස්ද සම්මාන දිනාගත්හ. 

-036


අදහස් (0)

ආර්ජන්ටිනාව කෝපා ඇමරිකා කුසලාන දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.