Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ජාතික පුහුණුකරු වසරක් නිකම්

ජාතික පුහුණුකරු වසරක් නිකම්

ශනුක අරවින්ද - 2017 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික පාපන්දු පුහුණුකරු ධුරය දැරූ ඩඞ්ලි ස්ටේන්වෝල් මහතාගේ සේවය පසුගිය ඔක්තෝබර් 25 වැනිදා  සිට අවසන් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.  ස්ටෙන්වෝල් මහතා එම ධුරයේ වැඩ බාර ගත්තේ වසර 2016 මැයි 25 වැනිදා සිටය.  එහෙත් පසුගිය (2016) නොවැම්බර් 10 වැනිදායින් පසුව සිය ධුරයේ කිසිම රාජකාරි කටයුත්තක් කිරීමට ඔහුට අවස්ථාව හිමි නොවූ බව පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික පාපන්දු පුහුණුකරුට මෙසේ වසරකට ආසන්න කාලයක් නිකරුණේ සිටිමින්ම සේවය අවසන් කිරීමට සිදුවී ඇත්තේ 2016 න් පසුව ජාතික පාපන්දු සංචිතය ක්‍රියාත්මක නොවීමත් ශ්‍රී ලංකාව එකී කාලය තුළදී එකම ජාත්‍යන්තර තරගයකට හෝ සහභාගි වීමට අපොහොසත් වීමත්  යන කාරණා හේතුවෙනි.

සිය නිල කාලය තුළදී ජාත්‍යන්තර තරග හතරකදී පමණක් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව ස්ටෙන්වෝල් මහතාට හිමිවිය. මලයාසියාවේ පැවැති  ආසියානු සමුළු සහයෝගිතා තරගාවලිය ඔහු යටතේ ශ්‍රී ලංකාව සහභාගි වූ එකම  ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය විය.

එහිදී මොංගෝලියාවට එරෙහිව  ගෝල 2-0 කින්ද, ලාඕසයට එරෙහිව ගෝල 2-1 කින්ද  පරාජය වූ ශ්‍රී ලංකාව මැකාවෝ රාජ්‍ය සමග පැවැති තරගය  ජය පරාජයෙන් තොරව (1-1) අවසන් කළේය.

එම තරගාවලියේදී ජයග්‍රාහී නේපාලයට එරෙහිව අනෙක් පසින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේද  මැකාවෝ  රාජ්‍යයි. මේ අතර පැවැති සුහද ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකාව කාම්බෝජයට පරාජය වූයේ  ගෝල 4-0 කටය.  2016 නොවැම්බර් 9 වැනිදා මලයාසියාවේ පැවැති සහයෝගිතා තරගාවලියේදී මැකාවෝ රාජ්‍යයට එරෙහිව සහභාගි වූ තරගය ඩඞ්ලි ස්ටෙන්වෝල් මහතා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම මෙහෙයවූ අවසන් තරගයද වේ.

පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපති අනුර ද සිල්වා මහතා සිය ධුරයේ දෙවැනි නිල කාලය ඇරඹුවේ පසුගිය ජූලි 1 වැනිදා සිටය. ස්වෙන්වොල් මහතා නොවැම්බර් 10 වැනිදා දක්වා සිය ධුර කාලය ක්‍රියාත්මක විය යුතු වුවත්  ඔහු තවදුරටත් පාපන්දු සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ අධ්‍යක්වරයා ලෙස කටයුතු  කරනු ඇතැයිද වාර්තාවේ.

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී  ලංකාව මේ වනවිට රටවල්  211 කින්  198 වැනි ස්ථානය දක්වා පහළට වැටී තිබේ. ආසියානු සමුළු  ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව කලාපයේ රටවල් 43 ක් අතරින් 42 වැනි ස්ථානයේ පසුවෙයි.

වසර 1993 සිට මේ දක්වා ශ්‍රී ලංකාව  අන්තර් ජාතික පාපන්දු තරග 75 කට සහභාගි වී තිබේ. ඉන් ශ්‍රී ලංකාව ජයගෙන  ඇත්තේ තරග 20 ක් පමණි. තරග 12 ක් ජය පරාජයෙන් තොරව අවසන්වී තිබෙන අතර සෙසු තරග 43 ක්ම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබේ. ශ්‍රී ලංකාව එදා මෙදා තුර ලබාගත් ඉහළම අන්තර් ජාතික පාපන්දු තරගාවලි ජයග්‍රහණය වන්නේ  වසර 1995 කොළඹදී පැවැති, එවකට සාක් රන් කුසලාන ලෙස හැඳින්වු (දැන් සාෆ්)  තරගාවලිය  ජය ගැනීමයි.

මේ අතර ස්ටෙන්වෝල් මහතාගේ ඉවත්ව යාමෙන් හිස්වන ජාතික පාපන්දු පුහුණුකරු ධුරයට මේ දක්වා ජාතික කනිෂ්ඨ පුහුණුකරු ලෙස කටයුතු කළ  ජපන් ජාතික සුසුකි චිකාෂි මහතා ඉදිරියෙන් සිටින බව වාර්තාවේ. දැනට ජාපනය බලා ගොස් සිටින ඔහුට එම ධුරය ලබාදීමේදී ඔහුගේ සහයට තවත් ජපන් ජාතික පාපන්දු උපදේශකවරුන් කීප දෙනකුගේ සේවය ලබා ගැනීමට දැනට  සැලසුම් කර තිබේ. ඔවුන් සියලු දෙනාගේ සේවය නොමිලේ ලබාගැනීම කෙරෙහිද එහිදී පාපන්දු සම්මේලනයේ  අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලකාවේ ඉලක්කය වන්නේ ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන සාෆ් පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීමයි. ඒ සඳහා ජාතික  පාපන්දු සංචිතය  සුදානම් කිරීමේදී වයස 19 න් පහළ හා 21 පහළ යොවුන් ක්‍රීඩකයන්ට  වැඩි අවස්ථාව ලබාදීමට පාපන්දු සම්මේලනය සූදානම් වන බවද වැඩිදුරටත් දැන ගන්නට ඇත.


අදහස් (0)

ජාතික පුහුණුකරු වසරක් නිකම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.