Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football මිලියන 28 පියවීමට නිලධාරියා සූදානම්

මිලියන 28 පියවීමට නිලධාරියා සූදානම්

ශනුක අරවින්ද - 2017 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ රුපියල් මිලියන 28 කට ආසන්න මුදලක් අස්ථානගත වීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින එහි මූල්‍ය අංශයක නිලධාරියා එම අලාභය තමන් පෞද්ගලිකවම පාපන්දු සම්මේලනයට පියවීමට සූදානම් යැයි සිය නීතිඥයන් මගින් එම සම්මේලනයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. මෙම මූල්‍ය අස්ථානගත වීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පාපන්දු සම්මේලනයේ මූල්‍ය කළමනාකරුවකු මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින අතර ඔහු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සිදුවී ඇතැයි කියන අලාභය පෞද්ගලිකව පියවීමට කටයුතු කරන බව නීතිඥයන් මගින් දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

කෙසේ වුවත් මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ද පත්කර තිබේ. එහෙත් එම කමිටුව මෙතෙක් එම විමර්ශන කටයුතු ආරම්භ කර නොමැත. ඊට හේතු වී ඇත්තේ පාපන්දු සම්මේලනයේ විධායක සභාවේදී ඉදිරිපත් වූ යෝජනාවකින් එම කමිටුව නිර්දේශ කළත් ඒ සඳහා මෙතෙක් සම්මේලනයේ නිල අනුමැතිය ලැබී නොතිබීමය.

පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී පැවැසුවේ චෝදනාලාභී නිලධාරියා අලාභය පියවීමට කටයුතු කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පාපන්දු සම්මේලනය සූදානම් බවය.

“පාපන්දු සම්මේලනයට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ අලාභය අය කර ගන්නේ කෙසේ ද කියන කාරණය. එතනදි චෝදනාලාභී නිලධාරියා කියනවා නම් අලාභය පියවනවා කියලා ඒක මේ ප්‍රශ්නය විසඳා ගන්න විශාලම පහසුවක් වෙනවා. එයින් පස්සේ මේ සම්බන්ධයෙන් අප තවදුරටත් කටයුතු කරන්නේ කෙසේ දැයි අවධානය යොමු කරනවා” යැයි ද පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
පාපන්දු සම්මේලනයේ වත්මන් පරිපාලනය උග්‍ර මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටියදී මෙම සිදුවීම වාර්තා විය.

ආසියානු පාපන්දු සම්මේලනය මේ වනවිටත් ශ්‍රී ලංකාවට ගෙවීමට ඉතිරිව ඇති මූල්‍ය ප්‍රතිපාදන තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අතර මෙම 12 වැනිදා ක්වාලාලාම්පූර් නුවරදී පැවැත්වෙන එම සම්මේලනයේ විශේෂ රැස්වීමකට යාමට සූදානම්ව සිටින අනුර ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීම පිළිබඳව එහි ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම්ව සිටියි. ඒ සඳහා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා ද ආරාධනා ලබා ඇතැයි වාර්තා වේ.

ඒ පිළිබඳව අනුර ද සිල්වා මහතා පැවැසුවේ පාපන්දු සම්මේලනයේ පසුගිය ජුලි 1 වැනිදා පැවැති නිලවරණය නිරීක්ෂණය කිරීමට පැමිණි ආසියානු සමුළුවේ නියෝජිතයන්ගේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකාවේ පාපන්දු සංවර්ධන ඉදිරි නව යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමක් සඳහා ක්‍රීඩා ඇමැතිවරයාට මගේ ආරාධනා ලැබුණත් ඇමැතිවරයා සිය සහභාගීත්වය මෙතෙක් සනාථ කර නොමැති බවයි.

 


අදහස් (0)

මිලියන 28 පියවීමට නිලධාරියා සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.