රිනවුන් පිල 12 වැනි ජයත් ලබයි
ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරගාවලියේදී මෙතෙක් අපරාජිත රිනවුන් පාපන්දු කණ්ඩායම සිය 12 වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සෙනසුරාදා සමත් විය. කැළණිය පාපන්දු සංකීර්ණයේ පැවති 15 වැනි අදියරයේ තරගයකදී අනුරාධපුර සොලිඞ් කණ්ඩායම ගෝල 3-2 කින් පරාජය කරමින් රිනවුන් කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කළේය.
අදියර 17කින් සමන්විත ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරගාවලිය යටතේ රිනවුන් පාපන්දු කණඩායම අදියර 15ක් සම්පූර්ණ කර ඇති අතර ජය පැරදුමෙන් තොර තරග 3 ක් සමඟ ප්‍රසාද ලකුණු 39 ක් ලබා අදාළ ශූරතාව දිනා ගැනීමට ආසන්නව සිටී. රිනවුන් කණ්ඩායමට තව තරග දෙකකට මුහුණ දීමට සිදුවේ.
ලබන සතියේ ගුවන් හමුදා කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිත රිනවුන් කණ්ඩායම තරගාවලියේ අවසන් සතියේදී ලෙස කොළඹ එෆ්.සී කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතය.
ගියවර තරගාවලියේ ශූරයන් වූ කොළඹ එෆ්.සී කණ්ඩායම අද වන විට තරග 15කට මුහුණ දී තරග 10කින් ජය ලබා තිබේ. එම කණ්ඩායම් තරග 4 ක් ජය පැරදුමෙන් තොරවද එක් තරගයකින් පරාජය වී ද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ (ප්‍රසාද ලකුණු 34) සිටී. කොළඹ එෆ්.සී කණ්ඩායම ඊයේ නිව් යංග්ස් කණ්ඩායම සමඟ තරගයට සහභාගී වූ නමුත් එම තරගය ගෝල 0-0 ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් වීම නිසා තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ අවස්ථාව ක්‍රමයෙන් ගිලිහී යන අයුරු පෙනෙන්නට තිබේ.
අදියර 15 තරග ප්‍රතිඵල
■ ක්‍රිස්ටල් පැලස් ක්‍රී.ස විසින් මොරගස්මුල්ල ක්‍රී.ස පරාජය කරන ලදී. (ගෝල 5-2)
■ රිනවුන් ක්‍රී.ස විසින් සොලිඞ් ක්‍රී.ස පරාජය කරන ලදී. (ගෝල 3-2)
■ බ්ලූ ස්ටාර් ක්‍රී.ස විසින් නාවික හමුදාව පරාජය කරන ලදී.(ගෝල 1-0)
■ නිගම්බු යූත් ක්‍රී.ස විසින් ජාවා ලේන් ක්‍රී.ස පරාජය කරන ලදී. (ගෝල 2-0)
■ මාතර සිටි ක්‍රී.ස සහ සුපර් සන් ක්‍රී.ස අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.(ගෝල 1-1)
■ කොළඹ එෆ්.සී සහ නිව් යංග්ස් ක්‍රී.ස අතර තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. (ගෝල 0-0)