Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football වසර පහකට පසුව ශ්‍රී ලංකාව ඉදිරියට

වසර පහකට පසුව ශ්‍රී ලංකාව ඉදිරියට

editorial - 2024 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කාම්බෝජය පරාජය කිරීමෙන් පියවර පහක් කෙළින්ම ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව පසුගිය බ්‍රහස්පතින්දා (19) සිදු කළ ලෝක පාපන්දු නවතම (පිරිමි - කණ්ඩායම්) ශ්‍රේණිගත කිරීම් අනුව එතෙක් රැදී සිටි 205 වැනි ස්ථානයේ සිට 200 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව සිටියි.වසර 2019 න් පසුව ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ඉහළට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

එහීදී ශ්‍රී ලංකාව මෙතෙක් ආසියානු පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව පසුවූ 46 වැනි (අවසන්) ස්ථානයෙන් ද ගැළවෙමින් 45 වැනි ස්ථානයට ළඟාවී සිටියි.

වසර 2019 සිට ලෝක පාපන්දු සමුළුව (ෆීෆා) විසින් සිදු කළ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව පිළිවෙලින් 2019 දී නැවත 205 වැනි ස්ථානයද, 2020 දී 206 වැනි ස්ථානයද, 2021දී 204 වැනි ස්ථානයද, 2022 දී 207 වැනි ස්ථානයේද, 2023 දී 204 වැනි ස්ථානයේද 2024 දී මේ දක්වා 205 වැනි ස්ථානයේ රැදෙමින් පසුගිය බ්‍රහස්පතින්දා 200 වැනි ස්ථානයට මෙසේ පැමිණීමට සමත් විය.

කාම්බෝජය සමග නොබෝදා නිමාවට පත්වූ ආසියානු කුසලාන (2027 - රියාද්) කලාපීය නිර්දේශ තෙවැනි තරග වටයේ තරග දෙකෙන් එකක් ජය ගනිමින් හා සෙසු තරගය සම කිරීමෙන්ද එහි ඉදිරි වටයට නිර්දේශ ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

එම ප්‍රතිඵලයත් සමග ශ්‍රී ලංකාව මෙසේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව වසර කීපයකට පසුව පියවර පහකින් ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි. ඒ පිළිබදව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවැසුවේ, මෙම වසර නිමාවට පෙර ශ්‍රී ලංකාව තවත් ජාත්‍යන්තර පාපන්දු තරග හතරකට සහභාගි කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ තුළින් ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්හි 2016 දී රැදී සිටි අවම 195 වැනි ස්ථානය දක්වා පැමිණීමට තවදුරටත් අපේක්ෂාවෙන් පසු වන බවත් ඔහු පවසයි. මෙම ලෝක පාපන්දු නවතම ශ්‍රේණිගත කිරීම අනුව ආජන්ටිනාව තවදුරටත් එහි පළමු තැන හිමි කර ගෙන සිටියි. දෙවැනි තැනේ ප්‍රංශය පසුවේ.

ආසියාවේ එහි පළමු තැන ජපානය විසින් හිමි කර ගෙන තිබේ. අලුත්ම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ජපානය 16 වැනි ස්ථානයේ පසුවේ. ඉරානය එහි දෙවැනි තැනේ පසු වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 19 වැනි ස්ථානයේ රැදෙමිණි.

මෙතෙක් ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ රැදී සිටි අවසන් ස්ථානය දැන් ලබා සිටින්නේ ගුවාම් රාජ්‍යයයි. දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ප්‍රතිවාදියා වන ඉන්දියාව මෙම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 126 වැනි ස්ථානය දක්වා පහළට පත්ව ඇත්තේ සිරියාවට ගෝල 3 - 0 ක පරාජයක් ලැබීමෙණි.

ඒ අනුව එම කලාපයේ ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රතිවාදීන් අතර මාලදිවයින 163 වැනි ස්ථානයේද, නේපාලය176 වැනි ස්ථානයේද, භූතානය 184 වැනි ස්ථානයේද, බංගලාදේශය 186 වැනි ස්ථානයේ ද, පාකිස්තානය 197 වැනි ස්ථානයේද පසුවේ.

වසර 2023 සිට 2024 මේ දක්වා ශ්‍රී ලංකාව සහභාගි වූ ජාත්‍යන්තර පාපන්දු තරග අටකදී තරග දෙකක් ජය ගෙන තරග තුනක් සම කර සෙසු තරග පරාජයට පත්ව තිබේ.


අදහස් (0)

වසර පහකට පසුව ශ්‍රී ලංකාව ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.