Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football වසර 15 කට පසු ශ්‍රී ලංකාව මියන්මාරය හමුවෙයි

වසර 15 කට පසු ශ්‍රී ලංකාව මියන්මාරය හමුවෙයි

editorial - 2024 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර  සුහද ජාත්‍යන්තර  පාපන්දු  තරගය හෙට (10 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට (මියන්මාර වේලවෙන් පස්වරු 4 ට) යන්ගුන් නුවරදී ආරම්භ වේ. ආසන 50,000 කින් සමන්විත යැන්ගුන්  තුවුන්නා ජාතික ක්‍රීඩාංගණයේදී  මෙම තරගය පැවැත්වේ.

ශ්‍රී ලංකා පාපන්දු  කණ්ඩායමේ  මියන්මාර තරග සංචාරය  තරග දෙකකින් සමන්විතය. ඒ අනුව දෙරට අතර දෙවැනි ජාත්‍යන්තර  සුහද පාපන්දු  තරගය මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට  නියමිතව ඇත්තේ ලබන ඉරිදා (13 වැනිදා) ය.

අතීතයේදී බුරුමය ලෙසින් හැඳින්වුනු වත්මන් මියන්මාරය  ජාත්‍යන්තර පාපන්දු  පිටියේදී ශ්‍රී ලංකාවට මුණ ගැසෙන්නේ වසර 15 කට පසුවය. දෙරට  අවසන් වරට මුණගැසුනු අවස්ථාවේදී ශ්‍රී ලංකාව ගෝල 4 - 0 කට පරාජයවී තිබේ. ඒ  වසර 2010 දී කොළඹ පැවැති ආසියානු සමුළු අභියෝගතා කුසලාන තරගාවලියේදීය. 

ශ්‍රී ලංකා කණ්ඩායම   කාම්බෝජය හමුවේ ලද  ජයග්‍රහණයෙන් ලද පන්නරය හමුවේ වඩාත් විශ්වාසයක් ගොඩ නගා ගනිමින් මියන්මාරයට ළගාවී සිටින්නේ අළුත්ම ලෝක පාපන්දු  ශ්‍රේණිගත කිරීම් අනුව 200 වැනි ස්ථානය දක්වා ඉදිරියට  පැමිණෙමිනි. කාම්බෝජය එසේ පරාජය කිරීමෙන් ශ්‍රී ලංකාව එළඹෙන  2027 - රියාද්  ආසියානු කුසලාන සුදුසුකම් වටයේ තවදුරටත්  ඉදිරියට යාමේ අවස්ථාවද උදා  කර ගෙන සිටියි. 

යැන්ගුන් නුවරදී  අද ශ්‍රී ලංකාවට මුණගැසෙන මියන්මාර ජාතික පාපන්දු කණ්ඩායම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 167 වැනි ස්ථානයේ පසුවේ.

කණ්ඩායමේ නිත්‍ය දැල් රකින්නා ලෙස සුජාන් පෙරේරා තවදුරටත්  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරයි. කාම්බෝජයට මුහුණදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කීපයක් සිදු කරමින් යැන්ගුන් නුවරට ළගාවී සිටින්නේ වෙනස් ශ්‍රී ලංකා කණ්ඩායමකි.ඒ ආබාධ තත්වයන්ට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කීපදෙනෙකුම ඉවත් කිරීම තුළිනි.

කණ්ඩායමේ  වැඩ බලන පුහුණුකරු කුවේට් ජාතික අබ්දුල්ලා අල් මුතායිරි මහතා මෙම  තරග සංචාරයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන  පුහුණුකරු ලෙස කටයුතු කරයි.

මෙම  වසරේදී මේ වනවිටත් මියන්මාරය ජාත්‍යන්තර පාපන්දු  තරග හතක අත්දැකීම් ලබා තිබේ. ඔවුන්ට මෙම  වසරට තවත් ජාත්‍යන්තර පාපන්දු තරග අටකට සහභාගි වීමේ අවස්ථාවද හිමිව තිබේ.

කෙසේවූවත්  අවසන් වරට පසුගිය ජූනි මාසයේදී  උතුරු කොරියාවට මුහුණදීමේදී ඔවුන් ගෝල 4 - 1 කින් පරාජයට පත්ව තිබේ. ඒ 2026 ලෝක කුසලාන තරගාවලියේ නිර්දේශ වටයේ තරගයකදීය. වසර 2023 ඔක්තෝබර් මාසයේදී  2026 ලෝක කුසලාන මූලික නිර්දේෂිත තරග වටයේදී මැකාවෝ ගෝල 5 - 1 කින් පරාජය කිරීම මියන්මාරය  ජාත්‍යන්තර පාපන්දු  තරගයකදී  මෙතෙක් ලද  අවසන්  ජයග්‍රාහණයයි.

කලක් මියන්මාර  පාපන්දු කණ්ඩායමේ ඉදිරි පෙළ විශිෂ්ඨ  දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකුවූ මිඕ හයින්ග් වින් මහතා එහි වත්මන් ප්‍රධාන පුහුණුකරුයි.

නිලධාරීන්  10 දෙනෙකුගෙන් සමන්විත පුහුණු හා පරිවාර කාර්‍ය්‍ය  මණ්ඩලයක් සංචාරක ශ්‍රී ලංකා පාපන්දු  කණ්ඩායම  සමග යැන්ගුන් නුවරට ළගාවී සිටියි. ඉන් හත් දෙනෙකුම විදේශිකයෝ  වෙති.


අදහස් (0)

වසර 15 කට පසු ශ්‍රී ලංකාව මියන්මාරය හමුවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.