Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football විනිසුරු ගෙවීම් ප්‍රමාදයි

විනිසුරු ගෙවීම් ප්‍රමාදයි

සංජය එරමුදුගොඩ - 2017 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිය දීමනා ගෙවීමේ ප්‍රමාදයක් නිසා ඊයේ සහ අද (25-26) පැවැත්වීමට සූදානම්කර තිබූ ඩයලොග් ශූරයන්ගේ පාපන්දු තරග වර්ජනය කිරීමට විනිසුරුවන් ගෙන තිබූ තීරණයෙන් තරග අටක් අත්හිටුවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට සිදුව තිබේ.

කෙසේ වුවත් සති අන්තයේදී පැවැති ශූරයන්ගේ තරග වර්ජනයට ආසියානු සමුළු බලපත්‍රලාභී පාපන්දු විනිසුරුවන් සහභාගිවී නොමැත. ඒ හේතුවෙන් රිනවුන් පිල හා බේරුවල සුපර්සන් පිල අතර පෙරේදා කළුතර වර්නන් ප්‍රනාන්දු පිටියේදී සූදානම් කර තිබූ තරගය පමණක් පවත්වා තිබෙන අතර එහිදී ගෝල 2-0 කින් තරගය ජය ගැනීමට මේ වනවිට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ අපරාජිතව පෙරමුණේ පසුවන රිනවුන් කණ්ඩායම සමත්ව තිබේ.

සී.ආර්., වැලිසර නාවික හමුදා, අනුරාධපුරය, සිටි ලීග්, මාතර, කුරුණෑගල හා මොරගස්මුල්ල යන ක්‍රීඩා තරග රැසකදී එසේ පැවැත්වීමට නියමිතව තිබූ තරග අත්හිටුවීමට සිදුවීමෙන් විශේෂයෙන්ම ආගන්තුක කණ්ඩායම් පමණක් නොව සත්කාරක කණ්ඩායම්ද අපහසුතාවයට පත්වූ බව වාර්තාවේ.

වාර්තාවන පරිදි ශූරයන්ගේ තරග විනිශ්චය කරන විනිසුරුවන් සඳහා මාස හයකට ආසන්න කාලක් තිස්සේ තරග දීමනා ගෙවීම ප්‍රමාදවී ඇතැයි පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ පිළිබඳව ශූරයන්ගේ තරගාවලියට සහභාගි වන ක්‍රීඩා සමාජ කීපයකම ප්‍රධානින් පැවැසුවේ මෙසේ ශූරයන්ගේ තරගාවලියේ යොදා ගත් තරග විවිධ හේතූන් මත විටින් විට කල් යාමෙන් ක්‍රීඩා සමාජ දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින බවයි.

විශේෂයෙන් මෙවර තරගාවලියට සහභාගිවන ක්‍රීඩා සමාජ සඳහා පාපන්දු සම්මේලනය දීමනා ලබා දීමක්ද සිදු නොකරන බැවින් මෙසේ විටින් විට තරග කල්යාම තුළ වියදම් දරා ගත නොහැකි තරම් ඉහළ ගොස් තිබෙන බවත්ය. එම තත්ත්වය තුළ ඇතැම් ක්‍රීඩා සමාජ තරගාවලියෙන් ඉවත්ව යන තරමට කළකිරී සිටි බවත් ඔවුහු වැඩි දුරටත් පැවැසීය.

කෙසේ වෙතත් මෙම ගෙවීම් වහා ගෙවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසයි. එම ප්‍රශ්නය හෙට (27) වන විට විසඳිය හැකි බවත් අත්හිටවූ තරග ඉදිරි දින කීපයක් තුළදී යළි පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු “ලංකාදීප”ය කළ විමසුමකදී පැවැසීය.

පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා මෙසේද පැවැසීය.

“විනිසුරු දීමනා ගෙවීම ප්‍රමාදයට යම් යම් කාරණා කීපයක් මුල් වුණා. තරග වාර්තා ලැබීමේ ප්‍රමාදයන් ඇතැම් තරග සඳහා නම් කළ විනිසුරුවන් වෙනුවට වෙනත් විනිසුරුවන් සේවයේ යෙදෙවීමත් කියන කාරණාත් ඊට හේතු වුණා. අපි ඒ දේ වහාම දැන් නිවැරැදි කරනවා.” යයිද අනුර  ද සිල්වා මහතා පැවැසීය.

 


අදහස් (0)

විනිසුරු ගෙවීම් ප්‍රමාදයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.