Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football 199 වැනි තැනත් මීට වඩා හොඳයි

199 වැනි තැනත් මීට වඩා හොඳයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 200 වැනි ස්ථානය දක්වා පහළටම කඩාවැටී සිටින අවස්ථාවක වගකීම් බාරගත් තමාට ඉර හඳ තාරකා දෙන පොරොන්දු ලබාදීමට නොහැකි බවත්, අඩු තරමින් ශ්‍රේණිගත කිරීම්වලින් 199 වැනි ස්ථානයට පත්වීමත් ශ්‍රී ලංකාව මේ මොහොතේ ලබන ජයග්‍රහණයක් වන බව ජාතික නව පාපන්දු පුහුණුකරු රූමි පකිර් අලි මහතා පැවැසීය.

පාපන්දු නිවසේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී තම ධුරය බාරගැනීම නිමිත්තෙන් එහිදී ඔහු එසේ පැවැසුවේ එළඹෙන (2018) දකුණු ආසියානු පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ඉලක්කය වන්නේ කුමක්දැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලදීය.

පාපන්දු සම්මේලනයේ හිටපු තාක්ෂණික අධ්‍යක්ෂවරයකුද වන පකිර් අලි මහතා මාලදිවයිනේ සේවය කරමින් සිටි අතර, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඉල්ලීමක් පරිදි මෙරටට පැමිණි ජාතික පාපන්දු පුහුණුකරු ධුරය බාරගැනීමට කැමැත්ත පළ කළේය.

ශ්‍රී ලංකාවේ වත්මන් පාපන්දු කඩාවැටීම ගැන එහිදී අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ, ඒ සම්බන්ධයෙන් එක් එක් අයට ඇඟිල්ල දිගු කිරීමෙන් වන්නේ පරණ තුවාලය නැවත නැවත පෑරීමක් පමණක් වන බැවින්, අනුන්ගේ අඩුපාඩු කතාකිරීමට ගන්නා කාලය මෙතැන් සිට රටේ පාපන්දු ක්‍රීඩාව නැංවීමට යොදාගැනීම මෙම ප්‍රශ්නයේදී වඩාත්ම අර්ථවත් වන බවත්ය.

ශ්‍රී ලංකාව වසර 2016 නොවැම්බර් මාසයෙන් පසුව කිසිදු අන්තර්ජාතික පාපන්දු තරගයකට මෙතෙක් සහභාගි වී නොමැත. වසරකට ආසන්න කාලයක් රාජකාරියක් නොමැතිව කටයුතු කරමින් සිටි ඩඞ්ලි ස්ටෙන්වෝල් මහතා වසර 2017 නොවැම්බර් මාසයේදී සිය සේවය අවසන් කළේය. එම තත්ත්වයට හේතුවූයේ ශ්‍රී ලංකාව වසර 2016 නොවැම්බර් මාසයේ මලයාසියාවේදී පැවැති ආසියානු ප්‍රමුඛ සහයෝගිතා පාපන්දු තරගාවලියට සහභාගිවීමෙන් පසුව එතැන් සිට ජාතික පාපන්දු සංචිතය මේ දක්වා ක්‍රියාත්මක නොවීමය.

එම තරගාවලියේදී ලාඕසයට (2-1) හා මොන්ගෝලියාවට (2-0) පරාජයට පත්වූ ශ්‍රී ලංකාව මැකාවෝ රාජ්‍යය සමග තරගය ජයපරාජයෙන් තොරව (1-1) අවසන් කළේය.

ජාතික පාපන්දු පුහුණුකරු ධුරයේ වැඩ බාරගත් පකිර් අලි මහතා අද (26) සිට නිල වශයෙන් ජාතික සංචිතයේ පුහුණුවීම් කටයුතු මෙහෙයවීම ආරම්භ කිරීමට නියමිතය. පසුගිය වසර කිහිපයක්ම ශ්‍රී ලංකා කනිෂ්ඨ පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ජපන් ජාතික සුසුකි මහතා ජාතික සංචිතයේ තාක්ෂණික උපදේශක තනතුර බාරගැනීම සඳහා යළි දිවයිනට පැමිණ සිටියි.

දැල් රකින්නන්ගේ පුහුණුකරු ලෙස සම්පත් බණ්ඩාර මහතා කටයුතු කරන අතර, සම්බාහක ධුරයට එම්. බායිස් මහතා නිර්දේශ කර තිබේ.

සහය පුහුණුකරු තෝරා ගැනීම පෙරේදා (24) කුකුලේගඟ දී පැවැති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන විධායක සභාවෙන් පසුවට කල්තැබුණු බව “ලංකාදීප”ය කළ විමසුමකදී පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පැවැසීය.

රූමි පකිර් අලි මහතා 2015 - 17 පාපන්දු සම්මේලනයේ නිලවරණයේදී සභාපති ධුරයට ද තරග වැදුණි.

(ඡායාරූපය - ඉෂාන් සංජීව)


අදහස් (0)

199 වැනි තැනත් මීට වඩා හොඳයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.