Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football අමීර් ඇලජික් යන්න අවසර ඉල්ලයි

අමීර් ඇලජික් යන්න අවසර ඉල්ලයි

editorial - 2022 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 2020 පෙබරවාරි මාසයේ සිට ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන බොස්නියානු ජාතික අමීර් ඇලජික් මහතා ශ්‍රී ලංකා සේවයෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. ඔහු මේ වන විට ජාතික පාපන්දු පුහුණුකරු ධුරයේ වැඩ බැලීමක් පමණක් සිදුකරන අතර දැනට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයා ලෙසත් කටයුතු කරයි.

රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වයද සැළකිල්ලට ගනිමින් තමා ශ්‍රී ලංකාවේ සේවයෙන් ඉවත්වීමට තීරණය කළ බව ඇලජික් මහතා ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට දැනුම් දී තිබේ.  කෙසේ වුවත් ඉදිරි මාස කීපයක් සඳහා දේශීය පුහුණුකරුවකුගේ සේවය ලබා ගැනීමට අපේක්‍ෂා කරන බැවින් ඔහුගේ ඉවත්ව යාමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ අනුමැතිය දෙන බව ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා පැවසීය.

පසුගිය නොවැම්බර් 19 වැනිදා කොළඹදී නිමාවට පත්වූ අගමැති කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේදී අනුශූරතාව ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස ඇලජික් මහතා කටයුතු කළේය. වසර 2020 පෙබරවාරි මාසයේදී මෙරට ප්‍රධාන පාපන්දු පුහුණුකරු ලෙස වැඩ බාර ගත්තද කොවිඩ් වසංගතය හමුවේ ඔහුගේ ශ්‍රී ලංකාවේ රාජකාරි කටයුතු බොහෝදුරට සීමා විය.

ඔහු ශ්‍රී ලංකාවේ පුහුණුකරුවා වශයෙන් ගත කළ සමය තුළදී ශ්‍රී ලංකාව සහභාගී වූ ජාත්‍යන්තර තරග 10 න් එක් ජයග්‍රහනයක් පමණක් (බංග්ලාදේශයට එරෙහිව) හිමිකර ගෙන තිබේ.  ඒ අතර ඉන්දියාව හා මාලදිවයින සමග පැවැති තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. සෙසු තරග ශ්‍රී ලංකාව පරාජයට පත් විය.

නව විදේශීය පුහුණුකරුවෙකුගේ සේවය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව පසුගිය දිනවල අයදුම්පත් කැඳවීමක් කළද ඒ සඳහා මෙතෙක් සුදුස්සෙක් නිර්දේශ වී නැත.

හිටපු ජාතික පාපන්දු පුහුණුකරුවෙකු වන ඩඩ්ලි ස්ටෙන්වෝල් මහතා ඇලජික් මහතාගේ ඉවත්වීමෙන් තාවකාලිකව ජාතික පුහුණුකරු ධුරයේ වැඩ බලනු ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු ආරංචි මාර්ග සඳහන් කරයි.


අදහස් (0)

අමීර් ඇලජික් යන්න අවසර ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.