Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football අවසන් තරගයට ඇෆ්ගනිස්ථානය - ඉන්දියාව

අවසන් තරගයට ඇෆ්ගනිස්ථානය - ඉන්දියාව

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව දෙවැනි අවසන් පූර්ව තරගයේදී ගෝල 5-0 කින් පරාජයට පත් කරමින් ඇෆ්ගනිස්ථානය ඊයේ (31) 11 වැනි සාෆ් සුසුකී පාපන්දු තරගාවලියේ අනිද්දා (3) පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ අනුව ඊයේ පැවැති  පළමු අවසන් පූර්ව තරගයේදී මාල දිවයින ගෝල 3x2කට පරාජයට පත් කළ ඉන්දියාව අනිද්දා පැවැත්වෙන අවසන් මහ තරගයේදී ඇෆ්ගනිස්ථානයේ ප‍්‍රතිවාදියා බවට පත්ව සිටියි.

මෙම දෙරට පිට පිටම සාෆ් පාපන්දු තරගාවලි තුනකදී (2011/13/15) අවසන් මහ තරගයේදී මුණ ගැසීමට සමත්ව සිටීම කැපී  පෙනේ. ඒ අතරින් ඉන්දියාව මෙතෙක් පැවති තරගාවලි 11දී එක් තරගාවලියක් හැරෙන්නට සෙසු සියලූ තරගාවලි අවසන් මහ තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමද තවත් කැපී පෙනෙන සිදුවීමකි.

2009 සිට මෙම තරගාවලියට සහභාගි වන ඇෆ්ගනිස්ථානයේ දස්කම් ද ඊට නොදෙවෙනි අතර එහිදී ඔවුන් මෙතෙක් සහභාගි වූ තරගාවලි හතරෙන් තුනකම අවසන් මහ තරග සඳහා වරම් උදාකර ගෙන ඇත.

කෙසේ වුවත් අවසන් වරට 2013 පැවැති තරගාවලියේ ශූරතාව ගෝල 2-0කට ජය ගැනීමට සමත්වූයේ ඇෆ්ගනිස්ථානය විසිනි. ඊයේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපාය වූයේ වඩාත් ආරක්ෂාකාරී වෙමින් ප‍්‍රතිවාදියා මෙල්ල කිරීම වුවත් එහිදී ඇෆ්ගන් ක‍්‍රීඩකයන් වඩාත් උපායශීලීව සිය ප‍්‍රතිවාදියාට ප‍්‍රහාර එල්ල කිරීම තුළින් මෙම තරගය වඩාත් පහසුවෙන් ජය ගැනීමට සමත්වූ බව පෙනේ.

පළමු භාගය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම සිය උපක‍්‍රමය සාර්ථක කර ගත්තත් ඉතිරි විනාඩි 45ක කාලයක් තුළදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම 47 (අතිරේක) 49,56 (දඬුවම් පහරකි) 78,83 යන විනාඩි වලදී ශ්‍රී ලංකා පෙදෙස වඩාත් පහසුවෙන් ආක‍්‍රමණය කරමින් ගෝල පහක්ම වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව වසර හයකට පසුව මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත්වීම කැපී පෙනේ.

පසුගිය දෙසැම්බර් 7වැනිදා සිට තරගාවලිය ඉලක්ක කරමින් ත‍්‍රිවෙන්ද්‍රම් නුවරට පැමිණ සිටින සංචාරක ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සාෆ් තරග සංචාරය අවසන් කරමින් හෙට (2) දිවයිනයට පැමිණීමට නියමිතය.


 ●●●

 


අදහස් (0)

අවසන් තරගයට ඇෆ්ගනිස්ථානය - ඉන්දියාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.