Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football අවුරුද්දක්ම නිකන් හිටිය ශ්‍රී ලංකාව උඩයයි

අවුරුද්දක්ම නිකන් හිටිය ශ්‍රී ලංකාව උඩයයි

editorial - 2023 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසරකටත් වැඩි කාලයක් තිස්සේ අන්තර් ජාතික තරග සඳහා සහභාගි නොවූවත් ශ්‍රී ලංකාව පෙරේදා (20) සිදුකළ නවතම අන්තර් ජාතික පාපන්දු (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව 207 වැනි ස්ථානයේ සිට 204 වැනි ස්ථානය දක්වා පියවර තුනකින් ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි.

පසුගිය ජනවාරි 21 වැනිදා සිට ශ්‍රී ලංකාව මේ දක්වා ජාත්‍යන්තර පාපන්දු තරග තහනමට ලක්ව සිටින අතර මෙසේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව සිටීම කැපීපෙ නෙනම සිදුවීමකි.

ශ්‍රී ලංකාව අවසන් වරට ජාත්‍යන්තර පාපන්දු තරගයකට සහභාගි වී ඇත්තේ 2022 ජුනි 14 වැනිදා ආසියානු කුසලාන (2023) සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේදී මාලදිවයිනට එරෙහිවය.

උස්බෙකිස්ථානයේදී පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 1-0කින් පරාජය වී තිබේ. වසර 2021 දී ශ්‍රී ලංකාව ලෝක කුසලාන (2022) සුදුසුකම් සාෆ් ශූරතා (2021) හා අගමැති කුසලාන සිව්කොන් (2021) යන අන්තර් ජාතික පාපන්දු තරග 10කට සහභාගි වී කොළඹ දී පැවැති සිව්කොන් තරගාවලියේදී බංග්ලාදේශය සමග තරගය පමණක් (2-1) ජය ගෙන තිබේ.

එහිදී ඉන්දියාව හා මාලදිවයින සමග පැවති තරග දෙකත් ජයපරාජයෙන්  තොරව අවසන් කර සෙසු තරග පරාජයට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව 2022 ජුනි මාසයේදී 207 වැනි ස්ථානය තෙක් එතෙක් ලබාගත් පහළතම ශ්‍රේණිගත කිරීමට ලක්විය. එයින් පසුව ශ්‍රී ලංකාව වසරකට වැඩි කාලයක් ගෙවා දැමීමෙන් පසුව 204 වැනි ස්ථානය දක්වා මෙලෙස ඉහළට පැමිණීමට හැකියාව ලැබී තිබේ.

වසරකට වැඩි කාලයක් ජාත්‍යන්තර තරග සඳහා සහභාගි නොවූ ශ්‍රී ලංකාව මෙසේ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීම පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ හිටපු සභාපතිවරයෙකු වන ජස්වර් උමාර් මහතා මෙසේ පැවසීය.

‘‘පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තරග සහභාගිත්වයට හිමි ප්‍රසාද ලකුණු අගය මෙතැනදී එකතු වෙලා තිබෙනවා. ඒ අතර අපට ඉහළින් ශ්‍රේණිගත වෙලා හිටපු රටවල් කීපයක ජාත්‍යන්තර තරග පරාජය තුළ ඔවුන්ගේ ප්‍රසාද ලකුණු ගණන මෙවර අවම වෙලා. ඒ නිසා ඔවුන් ශ්‍රේණිගත කිරීමෙහි පහළටම ගිහින් තිබෙනවා. එහි වාසිය මෙසේ ශ්‍රී ලංකාවට අනියත ආකාරයෙන් ලැබීමෙන් ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට ඇවිත් තිබෙනවා.’’

මේ ආකාරයට කලින් පැවති ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට පහළින් සිටින රටවල් කීපයක්ද ඉදිරියට පැමිණ තිබේ. පෙරේදා සිදු කළ නවතම ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 2022 ලෝක කුසලාන දිනූ ආජන්ටිනාව එහි පෙරමුණේම පසුවේ.

ආසියාවේ මුල් තැන එහිදී හිමිව ඇත්තේ ජපානයටයි. කෙසේ  වුවත් ශ්‍රී ලංකාව ආසියානු ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් අවසන් (46) වැනි ස්ථානයේ පසුවේ.


අදහස් (0)

අවුරුද්දක්ම නිකන් හිටිය ශ්‍රී ලංකාව උඩයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.