Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football නරඹන්නෝ තරගය අතර මග නවතති

නරඹන්නෝ තරගය අතර මග නවතති

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ඩයලොග් ශූරයන්ගේ තරගාවලියේ සමාරම්භක උත්සවයත් සමග කළුතර ‘වර්නන් ප්‍රනාන්දු’ පිටියේ පැවති කළුතර බ්ලූස්ටාර්ස් කණ්ඩායම හා බේරුවල සුපර්සන් කණ්ඩායම අතර තරගය නරඹන්නන් පිරිසක් පිටියට කඩාවැදීම නිසා තරගය අතරමග අත්හිටුවීමට සිදුවිය. එහිදී විශේෂ සිදුවීම වන්නේ එම තරගයේ සත්කාරය දැරූ සුපර්සන් කණ්ඩායම ආරක්‍ෂාව ප්‍රමාණවත් නැතැයි පවසමින් අතරමගදී තරග වැදීම ප්‍රතික්ෂේප කර සිටීමය.

සමාරම්භක උත්සවයට සහභාගිවී සිටි ආරාධිත අමුත්තන් ඉදිරියේ වූ මෙම අශෝභන සිදුවීමත් සමඟ කළහකාරී නරඹන්නන් පිටියෙන් ඉවත් කිරීම සඳහා පොලිසිය කැඳවීමට සිදු විය. තරගයේ දෙවැනි භාගයේ 31 වැනි විනාඩියේදී වූ එම සිදුවීමත් සමඟ එතැන් සිට තරගය අත්හිටුවීමට සිදුවූ අතර ඒ වන විට බ්ලූස්ටාර්ස් කණ්ඩායම ගෝල 3-1 ක් ලෙස පෙරමුණේ පසුවිය.

කළහකාරී නරඹන්නන් පිටියෙන් ඉවත් කර තරගය යළි ඇරඹීමට එම අවස්ථාවේ සමාරම්භක උත්සවයට සහභාගිවී සිටි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති අනුර ද සිල්වා එහි ලේකම් උමාර් ජස්වර් යන මහත්වරු ඇතුළු සම්මේලන ප්‍රධානීන් උත්සාහ ගත්තත් ආරක්‍ෂාව ගැන සෑහීමට පත්විය නොහැකි බව පවසමින් සුපර්සන් ක්‍රීඩකයෝ නැවත තරගයට සහභාගිවීම ප්‍රතික්ෂේප කර සිටියහ. කෙසේ වුවත් තරගයේ ඉතිරි කොටස 6 වැනිදා පස්වරු 4.00 ට කොළඹ සිටි ලීග් පිටියේදී පැවැත්වීමට පාපන්දු සම්මේලනයේ තරග කමිටුව තීරණය කර තිබේ.

මෙවර තරගාවලියේ පළමු තරගයවන මෙහි විශේෂ සිදුවීම වන්නේ කළුතරදී පැවැත්වුණත් එම තරගයේ සත්කාරක කණ්ඩායම ලෙස බේරුවල සුපර්සන් කණ්ඩායම නම්කර තිබීමය.

මෙම තරගයේදී අගතියට පත්වූ බව කියන බේරුවල සුපර්සන් ක්‍රීඩා සමාජයේ ලේකම් එන්.ජේ.එම්. රිට්ෂාන් මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ මෙම සිදුවීමෙන් සිය ක්‍රීඩක එම්.ආර්.එම්. රවීෂ් නරඹන්නන් තිදෙනෙකුගේ පහර කෑමට ලක්වූ බවයි. බ්ලූස්ටාර්ස් කණ්ඩායම සිය තෙවැනි ගෝලය වාර්තා කිරීමත් සමඟ පිටියේ විවෘත පෙදෙස් ඔස්සේ පිටිය මැදට කඩා වැදුණු පිරිස් ක්‍රීඩක රවීෂ්ට පහරදුන් බව පැවසීය.

“මේ පහර කෑ ක්‍රීඩකයා වගේම එයාගේ අයියා එම්.ආර්.ඩී. හම්ෂා මහතා කලක් මේ තරගයේ අපේ ප්‍රතිවාදීන් වූ බ්ලූස්ටාර්ස් කණ්ඩායමේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන්. ඒ වගේම ඔවුන් කළුතර ප්‍රදේශයේ අයයි. ජාත්‍යන්තර පාපන්දු තරග නීති රීති අනුව නම් මේ තරගයේ ජයග්‍රහණය අපට ප්‍රදානය කළ යුතුයි. නමුත් පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා අපට දැනුම් දුන්නේ ඒ නීති රීති මේ තරගාවලියට අදාළ වෙන්නෙ නෑ කියලා. අපට වෙන කරන්න දෙයක් ඉතිරිවෙලා නැති හින්දා අපි මේ තරගයේ ඉදිරියට සහභාගි වෙන්න තීරණය කළා.” යයිද රිම්සාන් මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම සිදුවීම ගැන ‘බ්ලූස්ටාර්ස්’ ක්‍රීඩා සමාජයේ ප්‍රකාශකයෙකු ලංකාදීපයට පැවසුවේ ඊට සිය ක්‍රීඩා සමාජයේ හෝ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ කිසිදු මැදිහත්වීමක් නොවූ බවත් අදාළ සිදුවීමෙන් පසුව සුපර්සන් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ආරක්‍ෂාව පිළිබඳව තමන් දැඩිලෙස සැළකිලිමත් වෙමින් කටයුතු කළ බවයි.

පසුගිය මාර්තු 4 වැනිදා වසර 2016 තරගාවලිය නිමාවට පත්වූ අතර වසර 2017 තරගාවලිය ඊයේ (2) ආරම්භ වූ අතර එහි තරග කොටසක් අදත් (3) දිවයිනේ ක්‍රීඩාංගණ කිහිපයකදී පැවැත්වීමට නියමිතව තිබුණි.

 


අදහස් (0)

නරඹන්නෝ තරගය අතර මග නවතති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.